Thursday, July 15, 2021

අතීත මතක 12

දුවගේ විභාගේ නිසා ගොඩක් දවසකින් ලියන්න බැරි උනා...ඒකට සමවෙන්න.

අතීතයේ වෙසක් දවස්...

කලින්දා හැන්දෑවේ උයා පිහා අවසන් කර කලින්ම නා ගන්නට යන්නේ පල්ලෙහා පිහිටි මහ ලිඳටයි.අත්තම්මා සමඟ නාන්න යන්නට අපි කවදත් ප්‍රිය කලෙමු.ඒ අත්තම්මා ලඟ ඇති වැටකොළු හනස්සෙන් පිට අතුල්ලා ගන්නටය.

මහ ලිඳ ලඟට ගොස් අත්තම්මා ඊට එපිටින් ඇති කොහිල වලට යන්නේ හෙට එනම් වෙසක් පෝය දවසට දානයට කොහිල අල හා දළු එක් කර ව්‍යාංජනයක් පිළියෙල කරන්නටයි. යහමින් හැදී ඇති කොහිළ දළු සහ අල කපාගෙන ගොඩින් තියා අත්තම්මා නා ගනී. ඒ ගමන් අපිවද නාවන්නීය.

නා හමාර කල අත්තම්මා කෙස් ටික පිටුපසට කර තුවායක් ඔතාගෙන පොඩියට ගෙඩියක් ගසා ගෙන කොහිළ මිටියත් සමග ගෙදරට ගොඩවී හවස් කරේ හැදූ වැළිතලපා සමඟ කහට බොන්නීය. ඉන්පසුව කොහිල මිටිය ගෙන අතින් හීනියට කොහිළ දල්ල කඩා කොහිළ දණ්ඩේ පොතු ඇර හීනියට එයද නියපිටින් කඩයි.

අත්තම්මා උදෑසන සිල් ගන්නට යන්නේ කොහිළ මාළුව උයා අවසන් කරයි. කුරුඳුඋම්බලකඩ යහමින් දමා ගොරකා අණ්ඩක්ද දමා කිරට උයන කොහිළ අල සහ දළු එකතු වුණු ව්‍යාංජන බෙහෙවින්ම රසවත්ය. ඊටත් වඩා රසවත් වන්නේ අත්තම්මා හදන කට්ලට් ය. දවල් දානයට කට්ලට් හදා ගුලිකර බිස්කට් කුඩු තවරා පුංචි අම්මලාට බැඳිමට පමණක් ඉතිරි කර පාන්දර හය වෙන විට අර වංගු පිරුණ රවුම් පාරෙන් මමත් සමඟ පන්නසලට යන්නීය.

මමත් සිල් ගන්නට ආත්තම්මා සමඟ වේගයෙන් යන විට මට ඉබේම වගේ මතක් වෙන්නේ දවල්ට කට්ලට් බදින විදිහයි. රස නහර පිනා යන කට්ලට් වල සුවඳ මගේ නැහැයට දැනෙද්දී මම ගමන බාල කරමි. අත්තම්මා පිටුපස හැරි කෝ ලොකු දුවේ ඉක්මන් කරන්න කියා කෑගසයි. මම පාරේ වංගු වලින් වහන් වී අත්තම්මා නොපෙනෙන ලෙස නැවත හැරී ගේ දෙසට ඉක්මන් ගමනේ යෙදෙයි. අන්තිමට පන්සලට යන්නේ අත්තම්මා පමණි. අත්තම්මා මට ලොකු දුවේ කියාත් නංගීට සුට්ටං දුව කියාත් ඇමතුවාය.

ඇතැම් දවසක සිල් ගන්නට පන්සලට ගියත් සීලයක් මා ලඟ රැදුනේම නැත. යන්තම් අටසිල් සමාදම් වී දෙන හීල් දානය වළඳා බණ කියන වෙලාවට මම හිටියේ පන්සලේ ඇති කොකෝවා ගහ මුදුණේය. දවසක්දා පන්සලේ හාමුදුරුවන්ගෙන් බැණුම්ද ඇසුවාය.

සිල් පවාරණ වෙලා ආතම්මා ගෙදරට එන විට අපි බකට් සහ වෙසක් කූඩු පත්තු කරන්නට සැදී පැහිදී සිටිමු. අම්මාමගේ අයියාඅනුලා පුංචි අම්මාබද්‍රා පුංචි අම්මාත් මමත් මේ කාර්යයට දායක විය. එදවස නොයෙකුත් මල් ගස් සහ පළතුරු ගස් වලින් මිදුල පිරී තිබුණි. ඉතින් බකට් එල්ලන්නට කිසිදු කරදරයක් නොවිණි. අවසන වෙසක් කූඩු සහ බකට් එල්ලු විට ගෙය සුරපුරයක් සේ දිස්වෙයි. අපි සියළු දෙනාම මහ රෑ වෙන තුරු මේ අසිරිය විඳගනිමින් නොයෙකුත් කථා කියමින් නිදි වැරුවෙමු. 

ගෙයි මුදලේ කොණට ශ්‍රී පාද කඳුවැටිය පෙනුනේ ඉතා අලංකාරවයි. අපි දනනමා ශ්‍රී පාදය වැන්දෙමු. ගේ ඉදිරිපස ඇති බුදු ගෙය ඉතාමත් පින් පාටින් දිදුලයි. එහි ඇති ධාතූන් වහන්සේලා කිහිප නමකි. අපි ඉතා ආසාවෙන් බුදු ගෙය වැන්දෙමු.

 

 

 

සීතලම සීතල අදුරු වැසි දිනවල


ඇඳ උඩට වී පොරෝනයට ගුලිව
අපි තිදෙන
කුස්සියේ දර ලිපට අමාරුවෙන් පිඹිමින
නිතොර හැදෙනා කැස්සද ඇතිව
බතක් මාළුවක් උයාදී අපට
ගුලි අනා කවන්නී...
සිංහල අවුරුද්දට මසක් තිබියදී
ටවුමට ගොස්
ලස්සන ලස්සන මල් ඉහුණු
චීත්ත රෙදි අරන්
රැලි සාය තට්ටු දෙක තුන දමා
හිත පිරෙන ගවුම් මසන්නී...

රතු හාල් සුදු හාල් වෙන වෙනම
පෙ‍‍ඟෙන්නට දමා
ජේන් ලවා වෙන වෙනම කොටවා
අතිරස මුංකැවුම් කොකිස් බදින්නි
වැලි තලප අළුවා සදන්නී...

මේ සියළු දේ නැතුව
අදට හරියටම තුන් අවුරුද්දක් පිරෙන්නී
සීතල පොළොව යට
හුස්මක්වත් නොගෙන
නුඹ සිටින බව දැනෙන විට
නුඹේ උණුසමක තිබූ
රැකවරණය ,ආදරය සොයන්නී..

අනේ අම්මේ නුඹට
උණුහුමක් දැනෙවද
සීතලක් තියෙනවද
වෙනදා වා‍‍ගෙම තවත්
අර කැස්ස තියෙනවද
මට කියාපන් හෙමින්
මම අහන් ඉන්නවා.....
අම්මේ නුඹට අමාමහ නිවන් සුව ලැබේවා..!!!

Sunday, July 11, 2021

ආරච්චිරාළ - විමලරත්න කුමාරගම

 


අලියා වැටුණු වැව ආරච්චි              රාළට

මුවමස් ඌරුමස් භිඟ නොමැත       කෑමට

මුළු ගංගොඩම හිටියත් ඔහුගේ       වාලට

ඔහු වැඩිපුරම බය ලොකූ සයිබු      නානට

 

වට්ටක්කා වැලකි ඒ ගෙයි වහල          මත

එරඬු වැටේ වැඩිපුර ලොකු කපොලු   නැත

කුරහන් බිස්ස යට බල්ලට සෙවන      ඇත

ඔහුගේ ගෙදර මට හොඳටම මතක      ඇත

 

පස් බානක්ම ඔහු හට හොර හරක් ඇත

ගමනට පැදුරු දැමු බර බාගයක්     ඇත

නියඟක් අවත් ඉන් වැඩිපුර බයක්  නැත

වැව කිට්ටුවම වෙල ඉස්සර හයක්  ඇත

 

ඉදිකඩ ළඟම සිටහත් මහළු පලු             ගසේ

පොඩි පෙට්ටියක පානට මැසි පොකුරු නැසේ

ඒළියක් දුටිමි ඒ ඒළියෙන් ඔහුගේ          හිසේ

මට මේ ලියන විට තව ඒ ඒළිය              දිසේ

 

මුළු රෑ ලැගී ඉඳ පලු ගහක            මැස්සක

ලැබ ‌ගෙන අහිංසකයකු පිදුව         මස්ටික

වළඳා අදට වූවත් වසර                  විස්සක

පුදුමයි බලන්නට අද ඔහුගෙ          රැස්ටික


කිසිවෙක් නොවේ කෙරුමට ඔහු සමඟ  හබේ

වෙහෙසක් නැතුව යළ මහ අස්වනුද      ලැබේ

කුරහන් වියෙන් බිහි තුන ඉදිමුනද          ඉබේ

යම්කිසි බියක් ඔහුගේ නෙත් අතර         තිබේ


දවසින් දවස වන පෙත ගං ගොඩෙහි     හැපේ

ඔහුගේ ‌ගෙදර ළඟ කළුවර බුරුත         කැපේ

ගැමියන් පිහිට ලැබ ගිනි ඇවිලුනද         ලිපේ

හැම ගැමියෙක්ම ඔහුගේ පාමුලෙහි       හැපේ