Tuesday, June 18, 2013

මඟ බලා සිටිමි

මල් පිරුණු ඇහැළ ගහ වටකරන් කහපාට මල් අදත් වැව රවුමෙ       පිපෙනවා
බොඳ වේචිචි මීදුමක් ඇවිත් හිමිහිට හොරෙන් ලතාවට මහ පොළොව   සිඹිනවා
සීරුවෙන් පායාපු හඳ එළීය මැදි කරන් තරු රෑන දිලි දිලි                  නිවෙනවා
කොහොම ඔබ කියූවත් මගේ හිත ගැබ්බරයි ඒ නමින් සෙනෙහෙ මල් පිපෙනවා

පාලු රෑ පුරාවට සඳ තරුත් මැදි කරන් ජීවිතය හෙමි හෙමින්            ගෙවෙනවා
දුහුල් සළු තිර මතින් ඇවිත් නල ගැටි ගැටී මගේ හිත සුසුමකින්        තෙමනවා
රාත්‍රිය අදුරකින් වැසී ඇති වෙලාවට සුරඟනන් පෙම් කතා                 කියනවා
ඒ කතා අහන්නට අනේ නුඹ හිටියනම් මට මෙහෙම දුකක් නැහැ       සිතෙනවා

පින් පිරුණු ආත්මය හොවාගෙන පපු තුලම උණුසුමින් මගේ හිත       තෙමනවා
නෙත් පියන්නට බයයි හීනෙකින් ඔබ ඇවිත් ඇහැරවන බවක් තව     දැනෙනවා
මේ සොඳුරු රැය පුරා නෙතු අසල දැවටිලා ඔබ ඇතැයි ඔබ ඇතැයි     හැඟෙනවා
මේ හීන මල් පොකුර විකසිතව හිනැහෙනා දිනය කවදද කියා           හිතෙනවා

Monday, June 17, 2013

සබඳ අපි ඇවිද යමු

සබඳ අපි ඇවිද යමු
මේ නුහුරු මාවතේ
මුණගැසෙන තුරු තවත්
පෙම්වතුන් මේ වගේ...
ඉර එළිය වැටෙනතුරු
හිම කැටිති දියවගොස්
අතින් අත පටලවා
සිනාසෙමු සිත් ලෙසින්...
රෑ අහසේ තරු කැලත
දිලී බබලන විටෙක
සඳ එළිය සොයා ගොස්
ගතු කියමු සීරුවට...
නුබ ගැබේ වළාකුළු
කැටිති ලෙස පෙල ගැසී
වැහි බිංදුවක් ලෙසින්
පාත්වන තුරු බිමට....
මල් පිපී සුවඳ දෙන
හිමිදිරියෙ ඇවිදයමු
මේ පාළු මාවතේ
එළිය දකිනා රිසින..
බිම් කරුවල වැටීල
අඳුරකින් වැසෙන කොට
සුසුම්ලමු එක්වෙලා
අතීතය ගැන තවම...
මේ තරම් දුර උනත්
යන්න ඇති දුර අපට
යා යුතුය නොනැවතී
ඉසිඹුවක් ලබන්නට..
හීනයක දැවටිලා
සොඳුරුවූ දිගහැරුම
එනතුරා බලාඉමු
දුකක් නැහැ නොවැ සිතට.



Saturday, June 15, 2013

ජීවන ගඟ


















එකම දිනයක සතුට එකතුව
දවස් සති මස් ගෙවෙනවා
සිතේ සතුටින් පුරෝගත් හද
උණුසුමින් වගෙ පිරෙනවා....

ඉඳහිටක දවසක අතරමග
බොරපැහැති දින තියෙනවා
නෙත් අගට කඳුලක් පුරෝගෙන
සිනාසීගෙන සිටිනවා...

දුත සතුට සැප මැදින් ජීවන
ගඟ ගලාගෙන බසිනවා
ගල් බොරළු කඳු හෙල් මතින් බට
ගඟ සුයුර වෙත ඇදෙනවා...

දහසකුත් බාධක අභිමුවෙහි
අපේ ජීවිත ගෙවෙනවා
ගෙවෙන හැම දිනයක්ම වාගේ
සොඳුරු බව නම් සිතෙනවා.

Thursday, June 13, 2013

ඔබ මා


දෑසට හමුවන එකම සඳක් යට
එකම ඉරක් යට එක හෝරාවක
අප පිය මැන්නා එකම මඟක් වෙත
යළි ආපසු නෙතු නොහැර බලා....

පායා ආ මුත් ගගනත වටකොට
තරු මල් වැටිලා සිනහසලා
අපි පියමැන යන මාවත එළියයි
සුදු සඳරැස් දහරින් තෙමිලා...

පිපී සුවඳදෙන කොඳමල් අතරේ
මදනල විසිරී පැතිරෙයි දසතේ
සිත්විල පහනින් එළිය කරනු මැන
තව දහසක් මල් පිපෙණු බලා.

Thursday, June 6, 2013

කවිය


ලස්සනයි
හැඩයි
සුමුදුයි
සුසිනිදුයි
.
.
.
.
කටුකයි
කඨෝරයි
නීරසයි
දුක්බරයි
.
.
.
.
ඒත්

හැම එකම
.
.
.
.
.
විචිත්‍රයි
අලංකාරයි
හැඩයි
සිත්ගන්නා සුළුයි.

Sunday, June 2, 2013

සඳ වතුරේ පෙණ පිඬු මැද
හිනැහුණු සුදු සාවියේ
නුඹත් එක්ක එක මොහොතක්
කතා කරනු බැරිදෝ.....
හිම කඳු යායක් අතරින්
පාත් වෙලා එකම විටක්
නුඹේ දෙතොල් පෙති හිමිහිට
සිපගන්නට අවසරයි...


හීන හතක් මැදින් ඇවිත්
කවුළු දොරින් එබී බලන්
සිහින තොටිල්ලට ගොඩවී
සිනා නගන්නම්
ඔබේ සිනා දැක ගන්නට
පෙරුම් පුරන්නම්...

ආකාසේ රන් පැහැයට
දිදලුන රන් වන් අසපුවෙ
කවුළු පියන් හැරදාලා
තබලා තියන්නම්...ආයෙත්
මගේ හීන නොදකින්නට
පෙරුම් පුරන්නම්
හද මැදුරේ ගී කියනා කුරුල්ලනේ
නිහඬව ඉන්නම්.