Sunday, July 8, 2012

කවදා නිම වේද බසයේ මෙවැනි වද.....


බස් රථයකට නැඟුනෙමි ගමනක්             යන්ට
තව ඉඩ තිබුණි ආසන වල ඉඳ                  ගන්ට
හොඳ හැටි තැනක් බලලා ඉඳගත්           මෙමට
අව්වෙන් පහර ලැබුණා තදබල               ලෙසට

එනිසා අයිනෙ නොමැතිව මම මැදට          වුණා
ටික මොහොතකින් හැමතැන සෙනගත්  පිරුණා
කොන්දස්තර මහතා ටික ටික ලඟා             වුණා
පුදුමයි නිල ඇඳුම ඇඳලා ටිකටි                  දෙනා

රුපියල් නවයෙ ටිකටය දහයට                 දුන්න
මාරු කාසි නෑ බෙහෙතටවත්                 හොයන
දවසට රුපියලක් ගානේ අපි                       පුදන
දහවැනි දිනේදී නැත මුදලක්                        ඕන

ටිකකින් සෙනඟ පිරුණා මේ හැම            තැනම
ගැබිනි මවක් නැග්ගා ඒ                මොහෝතේම
කරන්නට වුණා බංකුව                             දන්දීම
සිටියානම් අනෙක්පස නෑ                      නැගිටීම

ඉස්සර රියදුරයි කොන්දොස්තර               මහතයි
සිටියේ එපමණයි ඒ බව                       විශ්වාසයි
දැන්නම් හිඟන්නයි එතකොට            වෙළඳාමයි
බසයේ රජ කරයි අතවර                       අපචාරයි

නිල ඇඳුමට හේතුව දැන් වැටහුණේය            මට‍
බස් රථයට ටික්කන් ටික නැග්ගා            හනිකට
කට උත්තර නෑ දැන්නම් බස් ටික්කෝ          හට
පින් ලැබෙනවා පෙර බස් රථයෙන් එය   කිව්වට

අලුතෙන් හෝදලා ඇඳගත් ඩෙනිම                අද
මිනිසුන් පෑගුවේ එහි ඇති සටන                    මැද
දෙන්නට හිතයි පොල් පිත්තක් අරන්         හොඳ
කවදා නිම වේද බසයේ මෙවැනි                     වද

‍මේ මම පොල් ගහෙන් වැටුණේ           පෙරේදා
ඔපරේෂන් එකක් ඇත හෙට                    අනිද්දා
කීයක් හරි දෙන්න මාමා සහ                   නැන්දා
කියමින් බසේ යන හැමටම ඔහු               වැන්දා

එක පොත පනහ වේ මේ පොත්           පහකටම
එනමුත් සීය පමණයි නොවැ ගන්නෙ           මම
පොඩි දරුවන්ට ව‍ටිනවා මේ පොත්           පහම
එනිසා අරන් යනු මැන තම                  නිවසටම

තමුසෙට ලැජ්ජා නැති බව නම්         තේරේනවා
නැතිනම් මොකද ඔය හැටි මේ       තෙරපෙනවා
තමුසේ වයසකයි දැන් බැහැලා                 යනවා
කියලා සෙරෙප්පුව ගෙන ඈ           සොලවනවා

Thursday, July 5, 2012

අයියනායක - විමලරත්න කුමාරගම



සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො  ණේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙ‍              ණේ
මළකා කළුව ගිය ආයුධ කැබලි පෙ               නේ
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ    නේ

බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව                 ල
මේ සන්හි‍‍‍ඳේ එළියක් ඇත සවස් ක                 ල
ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක                   ළ
හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්ව         ල

වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ ර          ත
ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙ               ත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ ම                  ත
එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇ            ත

දෙවි දේවතාවුන් සැරි සරන මහ ව                නේ
පවතින  බලය ඇඟ ලොම් කුඩකටද දැ          නේ
මොළයෙන් තමා ලෝකේ සුවය වැනසු        ණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු          ණේ

සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී                         ම
කෙම්වර දවස්වල පානින් සැරසී                       ම
වන අතු කඩා ගස් දෙබලක දැවටී                      ම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී      ම

සාගත වසංගත හා එන නියඟ                    වලින්
සහනය පතා වන දෙවියන් ළඟට           කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ                 මලින්
පෙළෙඹෙන අයට අනුකම්පා කරමි          මුලින්

ගංගොඩ ව‍ටා මෝරන වන ලැහැබ            මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු                 වන
බලවත් අය්යනායක, දෙන ගොදුරු          ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු           තැන

පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින            තැන
මීමුන් මදින් මත්වී අං මදින                     තැන
වැව්වල මිනී කන කිඹුලන් ගැනද              දැන
මේ අය රකිනු මැන යන එන සියලු          තැන

මා පිල් පිඹුරු නයි පො‍ළඟුන් සිටින         තැන
අලි කොටි වළස් මුළු කොළහල කරන      තැන
නිතරම ඔබ පුදන මේ අය ඇඳින              ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු                මැන

Monday, July 2, 2012

පුංචි කවි පද මෙන්න ගෙතුණා

නැග එන ඇසල     සඳ
ඉමිහිරි කවිරසය     විඳ
මේ කවි ලියන           ලද
ජූනි තිස්වනදාය දින    අද

නව රස පිරේ    වා
අදහස් සඵල    වේවා
කවි මුතු     දිනේවා
පිපෙන සුව`දැති මල්ම     වේවා

ආරාධනා    ලැබුණා
කවක් ලියනට    හිතුණා
අලසකම    මැකුණා
පුංචි කවි පද මෙන්න     ගෙතුණා

සයිබරයෙ    වෙසුමට
නවමු දැකුමන්    ලැබුමට
බ්ලොග් කවී    ගෙතීමට
සිතක් සිතිලා මෙන්න අද    මට

කවි පද    ලියන්නම්
කවි මුතු මල්    බලන්නම්
අඩවියේ    ඉන්නම්
හැකි සෑම විට     සැරිසරන්නම්

බ්ලොග් අඩවියෙන්    දෙන
අමුතුය අමුතු දේ    වෙන
මුතු ඇට ඇමුණූ    මෙන
එකතුවේවා අඩවියට    ජන

ඔබේ ආරාධනා ලැබ අඩවිය ගැන        සිතුවේ
තනුජා අයගමයි මේ පදවැල්        ගෙතුවේ

Thursday, June 28, 2012

මිනී වල

ඔහුගේ මුහුණ කළු පාටින් දුටිමි                    මම
අව්වයි එයට වග කීවේ පෙර                      සේම
ඔහුව උවමනා වේ ලොව                       හැමදාම
මිනී වල කපන ඔහු නම                     ගුණසෝම

සැමදා දුක උරුම වු බව පෙනුණි                වතේ
එනමුදු සිනා මූණක් පොරවාන                  සිතේ
උදළු කැති වලින් ඔහු රජ කරපු                 අතේ
කරගැට දුටු විටදි මටනම් දුකත්                 හිතේ

වට කෙස් මැද හිස්ය ඒ ටික සුදට                පැහී
සුරුට්ටුව නිසා සමහර විටදි                        කහී
කවදා නිමවේද මිනිසුන් තවම                    නහී
නිවන් ලැබදෙන්න ගෞතම බුදුන්          කොහී

ඔහු නම ගුණසෝම නොව            නඩරාජන්ය
යුද්ධය නිසා ඔහු වැළලිය පවුල                  සිය
ඔහු හට දුකක් නැත දැන් සැමටම            එකය
මරණය පොදුය එය අනියත දහම               විය

සැමදා පාරේදි හමුවිය මෙමා                     හට
දත් නැති වුවද ඔහු පෑවා සිනා                   කට
ඔහු නැති දවස් ගෙවුණා                 සමහරදාට
එදිනට තවත් මිනිසෙකු ලොව හැර      දොට්ට

පුරුදු මූණ කලෙකින් දුටුවේ                නැතිය
අනුන‍ගේ වළ කපන්නට ඔහු මෙහි      නැතිය
ඔහුගේ වළ කැපුවේ  කවුරුද ලොව        සිටිය
අළුත් මුහුණකිනි එය සැරසී                   සිටිය

Tuesday, June 26, 2012

සතිය හෙවත් week එක..


පුංචි සන්දියේ
මටත් තිබ්බා
සතියක්
ඉරිදා ඉවර වෙලා
සඳුදා පටන් ගන්න
දැන්
යාන්ත්‍රික වෙච්ච
මට
කොහිද දින සති මාස
එක දිගට 
වැඩ මිසක
නිකම්ම නෙමේ
සම්මා සතියත් නැතුවම
ඉතින්
සත්සතියක් කොහිද ?

Sunday, June 24, 2012

හෙනහුරාත් මහ බලවත් - පරදුනානෙ නරි නයිදෙට


("මකරන්ද" යෙහි පළ කළ කවි පන්තියකි. 
අසංක ආසිරි ගේ ඉල්ලීම පරිදි මෙහි නැවත පළ කළෙමි.)

එකමත් එක ගම් පොඩියක - හේනක් කුඹුරක් වවාන
බත බුලතින් සරුසාරෙට - උන්නා ගම රාල කෙනෙක්


කේන්දරේ බලල තමා - ගම රාලගෙ වැඩ සේරොම
පැල හිටුවන්නෙත් නැකතට - අස්වනු ගන්නෙත් නැකතට 

දවසක් දා කේන්දරේ - අතට අරන් බැලූ කලට
හෙනහුරු අපලය එන බව - ගමරාලට පෙනී ගියා

බලපුලුවන්කාර කමින් - හෙනහුරු මහ ඉහළ කෙනෙක්
අපල කරන්නට ගත්තම - නෑ කිසි වගතුවක් ඉතින්

"අනේ ඉතින් හේන් කුඹුරු - කරල මොටද මේ කාලෙට"
ගමරාලත් හිතේ දුකින් - ඔහෙ ඉන්නව පසු තැවෙමින්

අනේ අනිච්චං කියාන - අතක් කම්මුලේ තියාන
පිල් කණ්ඩියෙ වාඩි වෙලා - ගමරාලගෙ දවස ගෙවේ

දිනක් මෙහෙම ඉන්න කලට - කැලේ හිටිය නරි නයිදේ
ගමරාලගෙ පැල පැත්තේ - කුකුල් දඩයමේ ආවේ
"වෙනද වගේ නෙමෙයි ගමය - හරිම හිතේ දුකින් වගේ
මොකදෑ මේ ඉන්න විදිහ - ගම හාමිනෙ මැරිල වත්ද?" 

මෙහෙම හිතපු නරි නයිදේ - හෙමින් ඇවිත් රාල ලඟට
අකම්පාල වෙලා ඉන්ඩ - හේතු කාරනා ඇහුවා

"නරි රාලේ මේ කාලේ - මට මහ අපලයි වාගේ
කේන්දරේ බලපුවාම - හෙනහුරු නොවැ උඩ ඉන්නේ

හෙනහුරු අපලය ආවම - කිසිම වැඩක් හරි යන්නෑ
ගොවිතැන් බත් හේන් කුඹුරු - කළාට කිසි වගකුත් නෑ"

මේක අහපු නරි නයිදෙට - කට කොනකින් හිනා ගියා
"අනේ මෙහෙම මෝඩ ගමයො - ඉන්නව නොවැ මේ කාලෙත්"

"රාලේ දුක් වෙන්න එපා - ඉන්නා විට  නරි නයිදේ
ඔය අපලෙන් බේරෙන්නට - දන්නව මං කලයුතු දේ"

"ඒ මොනවැයි නරි රාලේ - මන්තරයක් වත්ද බොලේ 
අනේ මටත් කියා දියන් - අපලෙන් ගැලවෙන කරමේ" 

"රාලේ උඹ මේ අහපන් - මං කියනා ලෙස කරපන්
බකන්නිලන් ඉන්නෙ නැතුව - කුඹුරු කොටන්නට පලයන්"

ගමරාලත්, කිව්ව ලෙසට - උදැල්ලකුත් අරන් කරට
කුඹුරට බැහැලා ආයෙත් - කුඹුරු කොටන්නට ගත්තේ 

ආකාසේ ඈත ඉඳන් - බලන් උන්නු හෙනහුරාට 
ගමරාලත් උදලු අරන් - කුඹුරු කොටන හැටි පෙනුනේ


"මෙන්න බොලේ මේ ගමයා - හෙනහුරු අපලය නොතකා
කුඹුරු කොටන්නට අරගෙන - හිටුකො උඹට කරවන්නට"

හෙනහුරාට පෙනුණු විගස - වහාම නියඟය එව්වා
නරි නයිදෙත් දුවගෙන විත් - ගමයට මේ ලෙස කිව්වා

"රාලේ දැන් ඉතින් ගිහින් - හේනක් කොටලා හිටහන්" 
ගමයත් කැත්තක් අරගෙන - හේන් කොටන්නට ගත්තේ

කැලෑ කොටා එළි කරලා - ගිනි ගහන්න හදනකොටම
හෙනහුරාට මෙය පෙනිලා - මහ වැස්සක් ඇති කෙරුවේ

වැස්සෙම නරියත් ඇවිදින් - රාළට මේ ලෙස කීවේ
"ආයෙත් කුඹුරට බැහැපන් - හේන දැනට අතහැරපන්"

නරි නයිදෙගෙ අණ අහලා - රාලත් කුඹුරට බැස්සා 
මී ගොන් නගුලේ බැඳගෙන - කුඹුර හාන්නට ගත්තා 

හාගෙන හාගෙන යනකොට - හෙනහුරාත් මෙය දැක්කා 
හෙනහුරු අපලය විලසට - ආයෙත් නියඟය එව්වා  

නරියත් දුවගෙන ආවා - රාළට උපදෙස් දුන්නා 
සුද්දකරපු හේන ගිහින් - කොටන්න ගන්නට කිව්වා

හේන කොටා වැට බැඳලා - කුරහන් ටික අතට අරන්
පැල කරන්න හදනකොටම - හෙනහුරු අපලය එව්වා 

ආපහු වැහි වහින කලට - රාලත් කුඹුරට බැස්සා 
පෝරු ගාල වී ඉහලා - කුඹුරේ වැඩ කර ගත්තා

ඔය විදිහට විඩින් විඩේ - හෙනහුරු අපලය එවනව
ගමරාලත් සුදුසු ලෙසට - ඒ අයුරින් වැඩ කරනව

කුඹුරත් සරු සාර උනා - හේනේ බෝගත් පැහුනා
හෙනහුරු අපලයෙ පිහිටෙන් - රාලගෙ කරලත් පැහුනා

එදා පටන් ගමේ රටේ - රට්ටු කියන්නට ගත්තලු 
හෙනහුරාත් මහ බලවත් - නරි නයිදෙට පැරදුනාලු

කේන්දරේ විසි කරලා - සිය බුද්ධිය යොදවාලා 
එයින් පස්සෙ ගමරාලත් - ජීවිත සරු කරගත්තා

ප.ලි. : සුනිල් ජයවීර ලේකඛයාණන් විසින් විජය පුවත් පතට මේ කතාව අපූරු චිත්‍රත් සමග කවියෙන් ලියූ බව මතකයි. නමුත් ඒ කවි මගේ මතකයේ නැහැ. මුල් කතාව ඇසුරු කරමින් කවියෙන් ලිවීමි. 

Wednesday, June 20, 2012

කන උන්දෑ - සාගර පලන්සූරිය


මා දිනූ ගමේ පොඩි කාලේ වෙසෙන ක           ල
මතකයි හොඳට නා ගහ මුල තිබුණ පැ            ල
කවුරුත් දන්න හඳුනන යක්ගැහැලෙ හෙ         ළ
කන උන්දෑය විසුවේ මේ කුටිය තු                    ළ

ඇගෙ ඇස් දෙකම අන්දය එනමුත් පුදු             ම
අඳුනන්නීය ඈ කොස්විනි මුළු ගම                  ම
දුප්පත් නමුත් ඈ කවදාවත් එහෙ                    ම
පහතට නොබැස්සා හිඟමනකට තර                ම

හරකා සතා මගදී හමුවන ඇය                        ට
කාගෙද කියා කිව හැකි නිවැරදි ලෙස            ට
කොපමණ දුරට ඈ හුරුපුරුදු ද ගම                 ට
බල්ලෙක් පවා නුබුරයි කිසිවිට ඇය               ට

ඇය ආ වේලාවට අ‍ප ගෙදරට දොර                ට
ලොකු සතුටක්ය පොඩි දරුවන් වන අප         ට
ඇය ඇතුළත් වුණේ අප කුළුපග බව              ට
කොහොමද කියා මට පැහැදිලි නැත දැන       ට

ඈ හොඳ හොඳ කතා කවි සීපද ද                න්නී
ඒවා රසට පැය ගණනක් පවස                   න්නී
අපගේ විහිළු ගැන වෙනසක් නොතක       න්නී
කන උන්දෑ අපේ මිතුරිය වී උ                    න්නී

            *    *     *     *     *     *      *
කලකට පසුව ඇය විසු පැල්පත පැව              තී
නාගහ මුලට මම ගොස් බැලුවෙමි නැව         තී
පැල තිබු ගෙපළ මත නා කොළ ගොඩ මහ   තී
ඇය මළ බව පවා දන්නෙක් ගම නොමැ       තී

සාගර පලන්සූරිය

Monday, June 18, 2012

එම මළ ගෙවල් දෙකටම මා යා යුතුය


දෙදෙනෙක් සිටියේය දෙදෙනම        වයසකය
එකෙකු පන්සිල්ය අනෙකා            බොනවාය
අකලට නොවූවත් දෙදෙනා                 මියැදීය
ගෙවල් දෙක අසල සුදුකොඩි              එල්ලීය

බොනවා වුණත් ඔහු හරියට      පොහොසත්ය
නිවසද තට්ටු හතකින් ඉහළට                   වීය
පන්සිල් රකින ඔහු හට හිමි            පැල්පතය
රට උළු වලින් වැහිබිඳු බිමටම                  වීය

පැල්පත හිමිවු ඔහු පන්සිල්             ගුණසිරිය
තට්ටු නිවස හිමි ඔහු කුඩු                   සේකරය
දෙදෙනගෙ ගෙවල් දෙක එක ළඟ       පිහිටීය
එනමුත් ඔවුනොවුන් අඳුරන්නේ         නැතිය
 
සේකර නිවස හත් ගව්වක් සුදු           කොඩිය
ගුණසිරි පැල්පතේ එක කොඩියක්           වීය
සේකර බලන්නට ආ බස්                   පිරිලාය
ගුණසිරි මළගෙදර නෑදෑයොත්            නැතිය

සේකර පොස්ටර A3 සයිස්                      විය
A5 සයිස් හිමි වූයේ                        ගුණසිරිය
සේකර මළගෙදර ආ අය පොෂ්               වීය
අර මළ ගෙදරනම් සිටි අය             වයසකය
 
බොන්නට බීම කන්නට බිස්කට්          ඇතිය
කොපමණ සෙනඟ හිටියත් හරි        සුවඳමය
සුවඳ දියරයක් ඉට වග                       කීවේය
සාලයෙ ඉස්තරම් පෙට්ටියේ ඔහුගේ       කය

මැස්සන් සිටි නිසා එහි හරි               කරදරය
මරණාධාර සමිතියේ පුටු හිස්                 වීය
ටික මොහොතකින් පහන් දැල්ල නිවුණේය
පහන් දැල්ල ලෙස වූ ඔහු                  ජීවිතය

එකම කනත්තක දෙදෙනම         වැළලේය
ඉන්පසු දිර දිරා යයි පොහොරව     දෙ' කය
යායුතු වීය නරලොව හෝ ලොව         දිව්‍ය
එම මළ ගෙවල් දෙකටම මා යා         යුතුය


Thursday, June 14, 2012

කවිමුතුමල් වලට එතකොට අවුරුද්දයි...


කාලය ගෙවෙයි නොදැනිම සට පට        ගාලා
ලෝකය වෙනස් වෙයි සැම අළුතෙන්    හිතලා
අළුතෙන් හිතන්නට මනසට ඉඩ               දීලා
කවිමුතුමල් එන්න කවි කියවලා            බලලා

අවුරුදු එකයි මාසද දොළහක්               වියැකී
සති පනස් දෙකයි දින තුන්සිය              හැටකී
පැය අටදහස් හත්සිය හැටකින්             කැරකී
කවි මුතු මලට බඹරුන් එකසිය              හතකී

මිනිසුන් විවිධ වේ ලෝකය තුළ              විසුව
සම අදහස් දරයි ටික කලකට                   පසුව
අමුතු අමුතු කවි මේ බ්ලොග                සැරසූව
ඔක්කොම දහයක්ය ඒ කවි පද                ලිව්ව

ස්තූතියි කියන්නට ඇරඹුවොත්                 මම
එහෙම කියන්නට වෙයි මට වෙලේ         හැම
මම දැන් නොකීවත් ඔබලගේ නමයි          ගම
හදවත පුරා තුති පුදදෙමි සුවඳ                  පෙම

දිනකදි බින්දිගේ නෙළුමට කමෙන්ට්          දිදී
ඉන්නා විටදි මේ අදහස සිතට                     වදී
සුජී අයියා දුන් නමකින් හොඳට                හැදී
සතුට පිට කරන්නට මට වචන                    මදී

එක අතකට මේ බ්ලොග බැංකුවක්          වගේ
පරණ කවි රකියි එය නම් හරිම                අගේ
දිගටම එන්න කවිමුතුමල් පාර                 දිගේ
පැතුමක් පුදමි එය පිළිගන්නවද               මගේ

වසරක් ගෙවී මේ බ්ලොග තව අළුත්      කෙරේ
සැමටම හැකියි කවි දැමුමට බ්ලොග      අතරේ
පහළින් දානු මැන ඊ ලිපිනය                  මිතුරේ
එවිට ඔබ මලකි කවිමුතු අතු                   පතරේ

ඔබගේ යෝජනා සහ අදහස්                දෙන්න
අනිවා කරමි මම ඉදිරියටම                    ඔන්න
නැවතත් තුති පුදමි එය දැන්             පිළිගන්න
දිගටම එන්න ලොකු වෙනසක් ඇත     වෙන්න
( ඔබ‍ත් කවි ලියන්න ආසාවෙන්,දැනටත් කවි ලියන හෝ ඉතාම වටින පැරණි කවි සතු අයෙක් නම් අප හා සම්බන්ධ වන්න. කළ යුත්තේ ඔබගේ email එක ලබා දීම පමණි. එය මෙතන පහළින් දැමිය හැකි නම් අගනේය. නැතිනම් එය asankaasiri@gmail.com යන ලිපිනයට එවන්න. එවිට ඔබට එවනු ලබන invitation එක මඟින් අප හා සම්බන්ධ වන්න )

Monday, June 11, 2012

කවියා - ආර්.සරණසේකර


ගොවියා අහර ගෙනැදී කුස ගින්න                  නිවයි
රිවියා කුසුම් පුබුදා ලොවැ සතුට                      වවයි
කවියා කවෙන් ඒ දෙක එක වරට                    මවයි
දෙවියා වුවද ඉන් කිවිඳුට සිරස                        නවයි

බසේ කිලිටිකම නැණ සිලිලින්                    දොවනා
රැසේ සියල්ලන් හට තව පණ                     පොවනා
දෙසේ අමුතු මිහිරක් සතුටක්                          වවනා
කෙසේ කියැහැකිද කිවිඳුගෙ අගය                   වනා

සියසත තුළෙහි ඉසි කෝ මද මාන                    නහා
සුනිසිත නැණින් කරුණා මෙත් මිහිර                බහා
විලසිත සුවඳ පරසතුවක් පරිදි                            මහා
විකසිත මලෙකි කිවිඳුයැ කියනා                    මිනිහා

කමතේ කෙතේ හේනේ තනියට                  ඉන්නේ
තුසිතේ ඇතේ යන සොම්නස ගෙනැ          දෙන්නේ
දෙනෙතේ සිතේ අමුතුමැ දේ                  අන්දන්නේ
විපතේ සෙතේ සම කිවියා බව                      දන්නේ

වනේ වෙණේ නැගිලා එන                         සුමිහිරිය
රනේ මිණේ පෙනෙනා මනහර                        සිරිය
සෙනේ පණේ ඇති රස පෙම්වත්                     හරිය
කනේ කෙණේ ලන්නේ කිවිඳුය                      පිරිය

වත්තේ ඕවිටේ කොටු කොරටු                     පිළිබඳ
කැත්තේ උදැල්ලේ හුරු පුරුදු කම්                 හොඳ
ඇත්තේ මේ තරම්වත් හෙළ අතෙහි                   අද
නැත්තේ ඇයි කිවින් දෙන රුකුලින්         නොවෙද

කුරුල්ලන් කරල් කන මහ වෙල්                 යායේ
ළමල් පළා ‍කොළ නෙළමින් දළු                 පෑයේ
සරල් වරල් දිසි පියලිය ලිය                          ගීයේ
තො‍‍‍ඳොල් ගතිය කිවිඳුයැ නංවා                    ලූයේ

දිනිදාගේ රුවන් රස් කෙඳි                           විහිදීම
තරිඳා කරන සොමි කැළුමන්                     පැතිරීම
බිලිඳා තුළැති කෙළි සිනහා ඉඟි                      පෑම
කිවිඳා නිසා රසවත් වෙයි හැම                        දාම

ආර්. සරණසේකර

කොළඹ කෙහෙල්වත්තේදී 1901 දී උපන් සරණසේකර කාව්‍ය ග්‍රන්ථ කිහිපයක් ලියා තිබේ.කවිය නැමති මේ කවිපෙළ ඔහු අනුගමනය කළ එළිසම සමුදුරු ගොස් විරිත් හා වියරණ සහිත චිරාගත සිංහල කාව්‍ය සම්ප්‍රදාය මනාව ප්‍රදර්ශනය කරන නිර්මාණයකි.