Friday, October 14, 2016
හැල්මේ දුවන
පෙළකට එකම
හා හූවක් නැතිව
දිව එන....
ඇයි මෙතරම්ම
කඩිසර...
කිටි කිටියේ
පොර බදන
රතු ඉර වදින්නට පෙර
අත්සම යොදන්නට
දේවකාරියට වඩා උතුම්
රාජකාරිය
නිදි කිරන
නොනැවති
වැඩ කරන
සෝපානයෙත් දුවන
AC සීතලේ ගල් ගැහුණ
හදවත්ද
එකම පුටුවට බර දී
එකතැන වයසට යන.....
ආයේ ආයෙම
හවස් වෙද්දී හැල්මේ දුවන
රජයේ සේවක..
සෙත්සිරිපායේ සිට ලියමි.
Tuesday, May 31, 2016
බිම වට මලක පෙති මත .....
මම සිහිනයෙන් ඇවිදිමි
පරණ මාවත් දිගේ
රොබරෝසියා ගස් යට
වැටි ඇත ..
ඔබගේ නොකී ආලය
මෘදු සුමුදු මල් පෙති මත
ලියා කවි ලෙස
පරණ මාවත් දිගේ
රොබරෝසියා ගස් යට
වැටි ඇත ..
ඔබගේ නොකී ආලය
මෘදු සුමුදු මල් පෙති මත
ලියා කවි ලෙස
තවමත් පර නොවුණු
ඔබගේ යොවුන් ආලය
ඔබගේ යොවුන් ආලය
ඒ ගස් යටින්
කලබලෙන් දිව ගිය
නොසන්සුන් යුවතිය
මම ..
ආපසු සෙමින් ඒ මග
ඇවිදිමි රිදුණු දෙපයින්
කලබලෙන් දිව ගිය
නොසන්සුන් යුවතිය
මම ..
ආපසු සෙමින් ඒ මග
ඇවිදිමි රිදුණු දෙපයින්
බිදුණු සිත මත අලවමි
අහුලා ඔබෙ පරණ කවි
හදවතේ රිදී සිරුණු
ලේ ගලන තැන් වසමින්
අහුලා ඔබෙ පරණ කවි
හදවතේ රිදී සිරුණු
ලේ ගලන තැන් වසමින්
.....නිතර කවියෙන් හැඩවුන පාළුවට ගොස් ඇති කවිමුතු මල් මතක් වුනා ....
Sunday, July 26, 2015
රුචිය
කියනවා සමහරු
අඹයක්ලු ආදරේ..
ඒත් කනකං විතරලු
රස ඒකේ....
කියනවා සමහරු
ටොපියක්ලු ආදරේ..
ඒත් කනකං විතරලු
රස ඒකේ....
ආදරේ රස
නිමාවෙනවද
ඉක්මණට එච්චර....
හිතෙන්නැද්ද
නිකමටවත්..
ආදරේ කොත්තුවක්....
දවස් ගාණක්
බඩ රිදෙන...
ආදරේ කොච්චි කරලක්...
ඉහිං කනිං
දුම් දමන......
Saturday, March 28, 2015
කඳුලක දැවටුන නොමියන සෙනෙහස!
පෙනෙන දුරක හිටියත්
ලඟින් ඉන්න වරම් නැති
සුවඳ දැනෙනා ලඟක සිට
සිඹින්නට වරම් නැති
පහසක ලඟ සිටියත්
දැවටෙන්න වරම් නැති
වදනක් දොඩනට බැරිව වැට මායිම් දමා ඇති
සඳ ඇවිත් ලඟටම නිල්
අහස තව දුර නැතී
සිප ගන්න නොයිඳුලෙන්
ඔය මුහුණ මට බැරී
ලබා ගන්න නම් ඉතින් ඔය
දෑත දැන් බැරී
දරන්නේ සියලු
දුක් කල සසර පින් මදී
මැවු සිහින ආදරෙන් ලඟ
ඉන්න දැවටි ලා
බොඳවෙලා ගිහින් මා
මෙහි ම තනිකර දා
ආ ගිය මග තොටේ මල්
කැකුළු පරවෙ ලා
පිපෙන්නේ කවදා ද කියන්
මට ලං වෙ ලා
හදේ රැඳුන සෙනෙහස
කොතරම් දැයි කියනු බැරී
දුර සසර පුරා ආවත් මෙ ලෙස අප දෙදෙනා බැඳී
රහසේ බැඳි ආදරේ ගිලිහිලා නෙත් අගට කඳුළු දී
කඳුළු ගඟක් ගලා ඇවිත් සරයි මහ සාගරේ රැළී
Saturday, March 21, 2015
දියණියක වෙතින්
මේ තරම් දුක් කඳක් ඉහිළුව නෙතක් අද ඇත වියලිලා
හැම දරුවෙක් තුලම නිදන් කල ආදරය ඇත ගිලිහිලා
නිදයි නුබ සුවෙන් දෙන තුල කුමරියක සේ වැතිරිලා
අම්මේ නුබෙ පා පියුම් නමදිමි මම උනු කඳුළු සලා
දරු සිව් දෙනෙකුට මව වුණි සසර බැමි ලෙස පෙර බවේ
තවත් දරු කැලකටම මව් වුණි සෙනෙහසම දී මේ බවේ
කියන්නට නම් එමට දේ ඇත නෙතේ කඳුලක් වී තිබේ
ඔබ නිදන දෙස බලා සුසුම්ලමි යලිත් හමුවෙන තුරු බවේ
වියෝවුන පසුව හිමියන් සියලු දරු බර හිසින් දරා
දුකක් නොමදී සැදූ දරුවන් රැක බලා ගති ඔබ සදා
දෙ ඇස් පාදා යහමග කියාදී සියලු දෙන රැක ගෙන සදා
කල මෙහෙය ලියනට මදි මෙලෙස ම'සිත් අහස පුරා
දෝත ගෙන ඔබේ දෑතට ආදරෙන් මා හා දෙඩූ
නිතර දුක සැප සොයා බලමින් මවක ලෙස මා හැදූ
සොයුරියක ලෙස එක්ව ආ මග අපට සෙනෙහස බෙදූ
සොයුරියගෙ මව උනි අද නුඹ මා ගෙ මව නම් නොම වූ
සිනාවෙන් පිරි ඔබේ මුව අග මන්දහාසය පුරවලා
අනූවිය පිරි කෙසඟ සිරුරත අනිත්ය මට පෙන්වලා
සැමගේම ආදරය හැරදා ඔබ ගිහින් අප තනිවෙලා
නිවන් පතමි අම්මේ සෙනෙහෙන් නුඹට ලංවෙලා
Sunday, March 15, 2015
සොඳුරිය නික්ම ගිහින්
පාට පාට සළු ඈ ගත සැරසූ
සමනළ් තටු වල තවරා ගිහින්
ඈ ගත සුවඳින් මා හද සැනසූ
අතු අග මල් මත තබා ගිහින්
සියුමැළි දෙතොලේ පහස මට දුන්
මල් පෙතිමත ඈ තබා ගිහින්
මුදු මුදු සුළගේ ලෙල දුන්
කෙහෙරැල්
නුග අතු මත ඈ තබා ගිහින්
දිදුලන මුවමත රැන්දු
සිසිලෙන්
ගඟ දියම ඈ පුරවා ගිහින්
මා හද මියැසිය මන්මත් කරවූ
වෙණ තත් මත ඈ තබා ගිහින්
නෙක හද තරු මල් ගැන කියමින්
ඈ ගැයූ ගී කෙවිලියක ලඟ තබා
ගිහින්
මා නෙත් සදහට පිරවූ කඳුලින්
වැහි බිඳු එකිනෙක ඈ පුරවා
ගිහින්
මතක පොතේ පිටු පෙරළන වාරේ
පරිසරයම ඈ පුරා ගැටෙයි
කඳුලක හිරවුන සෙනෙහස පුරවා
නො එන ලෙසට ඈ නික්ම ගිහින්.
Friday, March 13, 2015
Friday, July 25, 2014
කැම්පස් ජීවිතේ..
උදේ වේල නැත අප කන්නේ බඩට
දහවල උදෑසන දෙක කන්නේ එකට
වෙනකක් නොවෙනු ඇත ඒ දුප්පත් කමට
මේ දුක කියන්නේ කොහොමද අම්මාට
දහවල උදෑසන දෙක කන්නේ එකට
වෙනකක් නොවෙනු ඇත ඒ දුප්පත් කමට
මේ දුක කියන්නේ කොහොමද අම්මාට
Wednesday, February 12, 2014
Sunday, February 2, 2014
ලීස්තර වැට
පඩි පෙළින් උඩඟු කළ මහ ගෙදර ආලින්දෙ
ලී කුලුණු යා කරන ලීස්තර වැට මැදින්
නෙත් හෙළමි අදත් මම කුඩා දරුවෙකු ලෙසින්
පාළුවෙන් පුරන් වූ ඈත වෙල් එළිය වෙත
මෝස්තර කැටයමින් බැබළෙනා ලී පටි ද
අලුත් බීරළු සේ ම දිළෙන සැමදා සුද ද
වට කළේ ජීවිතය බෝධි කොටුවක් ලෙසින්
සැමදේ ම මා දුටුවෙ ලීස්තර වැට මැදින්
පාන ළඟ වැඳ වැටෙන අම්මාගෙ මුව මඬල
පසුපසින් පෙළ ගැසෙන නැඟෙණියන්ගේ පිළිම
සැඳෑ එළියේ ඇඳෙන සංසාර සෙවණැල්ල
බලා සිටියෙමි තනි ව ලීස්තර වැට මැදින්
වසරකට වතාවක් පිළිසකර කර වැට ම
පාට ගෑවේ සුදට සාර්ලිස් බාස් විත්
මගේ සිත අලුත් වී ලීස්තර වැට සමඟ
අමුතු එළියක් වැටිණ එවිට මිදුලට සිතට
මා අවට ගලා ගිය ජීවිතය දෙස නිතර
සුදු ලීස්තර මැදින් බලා සිටියා මිසක
උස් පිලෙන් බිමට බැස ඒ දිවිය වෙත එළැඹ
වෙළෙන්නට ගැටෙන්නට හරස් විය මේ වැටම
පාළුවෙන් පුරන් වූ ඈත වෙල් එළිය මෙන්
මගේ සිත පුරන් වී ඇත මෙදින ශෝකයෙන්
කොළ හැලුණු මිදුල මත නගා සර සර හඬක්
පාන් පැල ළඟට යන අම්මාගේ සේයාව
සැඳෑ එළියේ ඇඳෙන සංසාර සෙවණැල්ල
බලා සිටිනෙමි අදත් ලීස්තර වැට මැදින්
ලී කුලුණු යා කරන ලීස්තර වැට මැදින්
නෙත් හෙළමි අදත් මම කුඩා දරුවෙකු ලෙසින්
පාළුවෙන් පුරන් වූ ඈත වෙල් එළිය වෙත
මෝස්තර කැටයමින් බැබළෙනා ලී පටි ද
අලුත් බීරළු සේ ම දිළෙන සැමදා සුද ද
වට කළේ ජීවිතය බෝධි කොටුවක් ලෙසින්
සැමදේ ම මා දුටුවෙ ලීස්තර වැට මැදින්
පාන ළඟ වැඳ වැටෙන අම්මාගෙ මුව මඬල
පසුපසින් පෙළ ගැසෙන නැඟෙණියන්ගේ පිළිම
සැඳෑ එළියේ ඇඳෙන සංසාර සෙවණැල්ල
බලා සිටියෙමි තනි ව ලීස්තර වැට මැදින්
වසරකට වතාවක් පිළිසකර කර වැට ම
පාට ගෑවේ සුදට සාර්ලිස් බාස් විත්
මගේ සිත අලුත් වී ලීස්තර වැට සමඟ
අමුතු එළියක් වැටිණ එවිට මිදුලට සිතට
මා අවට ගලා ගිය ජීවිතය දෙස නිතර
සුදු ලීස්තර මැදින් බලා සිටියා මිසක
උස් පිලෙන් බිමට බැස ඒ දිවිය වෙත එළැඹ
වෙළෙන්නට ගැටෙන්නට හරස් විය මේ වැටම
පාළුවෙන් පුරන් වූ ඈත වෙල් එළිය මෙන්
මගේ සිත පුරන් වී ඇත මෙදින ශෝකයෙන්
කොළ හැලුණු මිදුල මත නගා සර සර හඬක්
පාන් පැල ළඟට යන අම්මාගේ සේයාව
සැඳෑ එළියේ ඇඳෙන සංසාර සෙවණැල්ල
බලා සිටිනෙමි අදත් ලීස්තර වැට මැදින්
එරික් ඉලයප්ආරච්චි
( ආලින්දය, 1988)
Subscribe to:
Posts (Atom)



.jpg)




