Saturday, June 9, 2012

වේදිකාව පිටුපස ''ස''


කටොර පරිසරයෙන්
මිදුණු මොහොතේ
යකඩ කටවල්
අතර හිඳ
නැරඹුවෙමි ''ස''
ඇසුවෙමි විදුවෙමි ''ස''
වේදිකාව පිටුපස
සුමිහිරිය පරිසරය....
හඬ තවම එලෙසමය
නැවත නැවත
විදින්නෙමි මා....
''ස''
සුමිහිරිය ස රි ග ම ය
පැරණීය තවම එය
විඳින්නෙමි මා
''ස''


ජීවිතේ එක්වරක් හෝ විඳිය යුතු ප්‍රසංගයකි ''ස'' මමද වින්දෙමි. අවසනද ළඟ ළඟය. ඉක්මණින් විඳින්න. යන්න.

Tuesday, June 5, 2012

ඉර පායා ඉර මුදුනට එන්න එපා - විමලරත්න කුමාරගම


සටනක වගේ වෙඩි හඬ ගෙය දෙසින්         ඇසේ
මම දිව ගියෙමි වැව සිට තෙත පිටින්           හිසේ
දැඩි සේ ගොරදෙමින් දුක් බැල්මකින්         ඇසේ
නාඹර මුව දෙනක වැව ළඟ හෙමින්           නැසේ

කටු කම්බියට ලස්සන හම ඇත                       සීරී
මා මය දතුයෙ මගෙ හද ගිය සැටි                   පෑරී
වැදි කොලුගෙන් ඇයට නොගියැකි විය       බේරී
ඇගෙ මළ බුරුල්ලෙන් වෑහෙයි කිරි            බේරී

වෙඩි හතකින්ම හම සිදුරුව තිබුණි             ඇගේ
හැඬු බව ඇසූයෙමි ඈ වත්තෙහි ම               මගේ
මිනිසුන් ළඟට ඈ ආ වග හිතට                  නැ‍ඟේ
සිතිවිලි වුණා පිනිබිඳු කම්බියක                   දිගේ

මිරිසට උයා තිබු ඇගෙ මස එදින                රැයේ
මට කිරි රසට වැටහුණු බව මතක               තියේ
මුළු රෑ මසිත මව නැති දරු වෙතය               ගියේ
මම නිදි ගතිමි පසු දින හිරු නැ‍ඟෙන          පැයේ

''ඉර පායා ඉර මුදුනට එන්ට                        එපා''
''හඳ පායා හඳ මුදුනට එන්ට                        එපා''
''දිවි නරි පිඹුරු කටකට කැපවෙන්ට            එපා''
''අම්මා නැති අපට බඩගිනි වෙන්‍ට             එපා''

ඈ මිනිසුන් මැදට මහ දාවල                      එන්ට
බියකින් විය යුතුය දඩයම්කරු                  වන්ට
එද මහ දවල් මිනිසුන් මැද හඬ                දෙන්ට
හේතුව දනිමි මවු පෙම කිරි දරු                 වන්ට

''ඉර පායා ඉර මුදුනට එන්ට                        එපා''
''හඳ පායා හඳ මුදුනට එන්ට                        එපා''
''දිවි නරි පිඹුරු කටකට කැපවෙන්ට            එපා''
''අම්මා නැති අපට බඩගිනි වෙන්‍ට             එපා''

කිරි දී සතප්පා පැටවුන් සෙවණ                   තුළ
සඟවා රස බලන බව මව ළපලු                    වල
ඇසුවත් පෙරදි මා වන්නියෙ සිටිය              කල
නොදනිමි කරුණ ඈ මගෙ වත්තෙහිම         මළ

දා ගිය අතු පඳුරු ගින්නෙන් නිකිණි           මසේ
සෝකිව ඇඹෙරෙමින් වැළපෙන හැටිය   ඇසේ
ඉඳ හිට සුළඟ නවතී  ඩා නිවන                ලෙසේ
හදවත සිරස බර මම නිදියමිද                 කෙසේ


''ඉර පායා ඉර මුදුනට එන්ට                      එපා''
''හඳ පායා හඳ මුදුනට එන්ට                      එපා''
''දිවි නරි පිඹුරු කටකට කැපවෙන්ට          එපා''
''අම්මා නැති අපට බඩගිනි වෙන්‍ට           එපා''

බලු කුකුරුවන්ගේ බඩගිනි හැඬුම             වැනී
හැඬුමක් ඇසේ නල බල වන විටදි              තුනී
මුව පැටවුන්ගෙ පැමිණිල්ලකි හොඳට       දැනී
මහ රෑ මගේ දෑසින් උණු කඳුළු                   පනී

ඇස් දෙක රතුව දුටුයෙමි පසු දවස             උදේ
මට පැහැදිලිය මුව පැටවුන් විඳින              වදේ
උන්ගේ බැගෑ හඬ මා පසු පසම               ඇදේ
මගෙ හදවත එයින් බිහිසුණු විලස             රිදේ

ගෙවුයන නිමා අවටැති වතු පිටි                නුදුරු
පැටවුන් සොයන්නට පීරූයෙමු                 පඳුරු
වැදි කොලු කෑ ගසයි පඳුරක් ළඟ              අඳුරු
ඔහුගේ හඬින් මිදුණා පිඹුරුගේ              ගොදුරු

එක පැටවෙක් එතී පිඹුරගෙ දරණ              මැද
නිදහස් වෙන්ට දඟලත්දී වෙහෙස               විඳ
වැදි කොලු පිඹුරු ගෙල මිරිකන විටදි         ඇද
පැටවා දුවන්නට විය මළ පඳුරු                   බිඳ


''ඉර පායා ඉර මුදුනට එන්ට                      එපා''
''හඳ පායා හඳ මුදුනට එන්ට                      එපා''
''දිවි නරි පිඹුරු කටකට කැපවෙන්ට          එපා''
''අම්මා නැති අපට බඩගිනි වෙන්‍ට           එපා''

විමලරත්න කුමාරගම

මේ කවිය පල කරන්නට විශේෂ හේතුව මීට පෙර විමලරත්න  කුමාරගමයන්ගේ 'හේරත් හාමි' කවි පන්තිය පල කිරීමෙන් පසු මෙවැනි අදහසක් ලැබූ බැවිනි.

සරත් ගුණතුංග said.
විමලරත්න කිවිඳුන්ගේ පබැඳුම ට
දහසක් වරක් පින් සිදු වේවා ඔබ ට
පාසැල් වියේ රස විඳි ඒ කවි වල ට
තවමත් දුවයි සිත පණහේ දශකය ට්

එපා එපා හිර මුදුනට එන්න එපා
එපා එපා සඳ මුදුනට එන්න එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා
මේ කවි පදය නම් නොලියා ඉන්න එපා
Bindi said.
ඔන්න මම ආසම කවියෙක්ගේ ආසම කවි පෙළක්. කොළඹ යුගයේ කවි රසවින්දින්නෙක් ලෙස මගේ ස්තුතියත් ඔබට අසංක . සාමාන්‍ය මිනිසාගේ සරල බව සුගම ලෙස කියන්නට හපනෙක් කුමාරගම කවියා . ඔහුගේ ඉතුරු කවි ටිකත් ඉඩ ඇති විට දාන්න මල්ලි හැකිනම්

Sunday, June 3, 2012

මිරිවැඩි සඟල

කිසිදින දෙපා හට නොරිදුම් නොදෙන          නියා
මඟතොට සෑම තැනදිම මා රැකූ                  පියා
තබනා පියවරක් පාසා ඉන්න                      කියා
කළගුණ සළකන්න නොහැකිය කවක්        ලියා

මා යන සෑම තැනකම මගෙ දෙපය               යට
ඔබ සිටියා නිරන්තර මා සැපත                 කොට
ගල් මුල් මඩ ගොහොරු පෑගෙන විටදි         මට
ඔබ සම සිතින් දැරුවා මගෙ සතුට                පිට

විසිතුරු හැඩ මැවුණු එහි පිට පතුල               මත
තිබු හැඩතල රටා සැනෙකින් මැකුණි          වත
මනරම් හැඩති නෙක නෙක සඟලවල්       වෙත
එනමුත් ඔබ පමණි මාගේ සැනසු                හිත



මිරිවැඩි සඟල දැන් ටික ටික පරණ             විය
සැමදා මෙන්ම මෙනි ගෑවෙන විටදි            පය
අටවක සඳක් මතුවූවා පතුලේ                    සිය
ටික දවසකින් පුර පසළොස්වකට              ගිය

ගණන් කළ නොහැකිමුත් නැතිවුණු           වාර
නැවතත් හමුවුණා එය පුදුමකි                    මාර
ඔබ සිටි නිසා මගෙ ජීවිතෙ විය                   සාර
තවමත් යනවා මා සමඟම මහ                    පාර

එක් දවසකදී ඔබ නැති බව දුටුවා            ඇහින්
සැම තැන සෙව්වමුත් හද පිරි ශෝක       දුකින්
අළුත් සඟලකට කාලය පැමිණි              හෙයින්
තවමත් දුකයි ඔබ යන්නම යන්න           ගිහින්

Tuesday, May 29, 2012

මගෙ බිසවුනේ අසාපන් - රත්න ශ්‍රී විජේසිංහ

මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ත්‍රී දේවි නොවුණේ
මේ කඳුළු ඇයිද දෑසේ
බෑ යන්ඩ නුඹට හිමයේ
විෂ ඝෝර සර්ප භවනේ
නවතින්න කුලී නිවසේ
මේ කර්ණ කටුක නගරේ

පොඩි උන්ව බලා ගන්ඩයි
ඉස්කෝලේ එක්ක යන්ඩයි
ලෙඩ දුකට පිහිට වෙන්ඩයි
කුණු බැනුම් අසාගන්ඩයි
දිව විකා බර අදින්ඩයි
නවතින්න බිසවු නගරේ
මේ කුලී මාලිගාවේ

කිරි ශිරාවෝ සියක් ඉල්පී
කෘෂ ළැමට ඇදී එත් මැ යි
පියුයරෝ දෙදෙන හොරැහින්
බිම බලාගෙන හඬත් මැ යි
ලේ කඳුළු බිංදු නොසිඳී
ළැම දුකින් තෙත් කරත් මැ යි
හාමතේ නොලා දෙදරුවන්
රක්ෂා කෙරෙත් මැ යි

මට යන්ට දෙන්න දේවී
ඒ දුෂ්කර පළාතේ
බෙලි කපන සතුන් අතරේ
කෙළ ගසන සතුන් අතරේ
මිනිසුන් ද වැඩ වසන්නේ
බෝ ප්‍රවේසම්ව ඉන්නම්
මගෙ මෙහෙය මම කරන්නෙම්
අත පුරා මගේ දෝතින්
ජීවිතය ගෙනැත් දෙන්නම්

නුඹ නොදෙම් එතෙර රටටා
දරු නොදෙම් වාල්කමටා
ඇඟ මස පුදා රකිම් මැ යි
නොපුරම් එහෙත් පෙරුම් දම්
බුදු වන්ට ඕන නුඹලා
මට නිවන් මඟ කියල්ලා

නුඹ චන්ද්‍ර මඬල වැන්නේ
සා පැටවු එහි නිදන්නේ
හිමවතට ඇවිත් හීනෙන්
සිත සඳුන් තවරපන්නේ


රත්න ශ්‍රී විජේසිංහ
(වස්සානේ, 1985)


කිවියර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ වංකගිරියට මාරුවීම නම් මෙම කාව්‍ය නිර්මාණය දේශපාලන පළිගැනීම් නිසා අනපේක්ෂිත පරිදි දුෂ්කර පළාතකට මාරුවක් ලබන රාජ්‍ය සේවකයකු වන සැමියා සිය අඹුදරුවන් කෙරෙන් වෙන් වී නික්ම යාමට සැරසී පි‍්‍රය බිරිඳ අමතා සමුගන්නා විලාසයෙන් රචිත, සමකාලීන දේශපාලන හා සමාජ යථාර්ථය විවරණය කෙරෙන සංවිභාගශීලි නිර්මාණයකි. කවියා අනුභූතිය ප්‍රතිනිර්මාණය කරන්නේ මෙරට ජන විඥානයෙහි නිදන්ගත වෙස්සන්තර ජාතකයේ වෙසතුරු රජු වංකගිරියට නික්ම යාම සඳහා මන්ද්‍රි දේවියගෙන් සමුගත් අවස්ථාව සහෘද මනසට නැඟෙන අයුරිනි. වංකගිරියට නම් සාම්ප්‍රදායික සංකේතාත්මක යෙදුමෙන් අවදි කරවන විශේෂස්මෘති මඟින් එකී අතීත සිද්ධියත් වර්තමාන සිද්්ධියත් සැසදෙමින් එම සිද්ධි දෙක අතර පවත්නා සම විෂමතා කෙරෙහි රසිකයා සංවේදි කරවයි.
වෙසතුරු රජු වංකගිරියට යන්නේ කළිඟු රට ඇතිවූ සාගතය දුරලීම සඳහා ඇළි ඇතු දන්දීම නිසා ඇති වූ රටවැසියන්ගේ විරෝධයෙහි ප්‍රතිඵලයක් වශයෙනි. වර්තමාන සිද්ධියෙහි සැමියාට අඹු දරුවන් හැර දමා දුෂ්කර පළාතකට මාරු වී යාමට සිදුවන්නේ දේශපාලන පළිගැනීම් නිසාය. එම සිද්ධි දෙක සහෘද මනසෙහි තුලනය වීමෙන් ඇතිවන ආකල්පමය වෙනස ද නිර්මාණයෙහි අපූර්වත්වයට හේතු වේ.
මේ කාව්‍ය නිර්මාණයෙහි ආකෘතිය හා රිද්මය අතිශය ජනපි‍්‍රයත්වයට පත් “මගෙ මන්ද්‍රි නම් බිසෝගේ” යන නූර්ති ගීතයට සමගාමී වේ. එම ගීතයට අනුව වෙසතුරු රජ සිය බිසවට පවසන්නේ වංකගිරි වනාන්තරය විවිධ දුක් පීඩාවන්ගෙන් ගහන බැවින් සියලුම සැප සම්පත් හා රැකවරණ සහිත මාලිගාවේ නවතින ලෙසයි. එහෙත් වර්තමාන සැමියා විවිධ දුක් පීඩාවන්ගෙන් පිරුණු කර්ණ කටුක නගරයේ කුලී නිවසේ නවතින ලෙස සිය බිරිඳට ආයාචනා කරයි. කවියා සම්ප්‍රදායෙන් මනා පෝෂණයක් ලබමින් සංස්කෘතික ස්මෘති ජනනය කරවමින් වර්තමාන සමාජ විපර්යස්ත භාවයේ පවත්නා දැඩි ඛේදය කම්පනීය ස්වරූපයෙන් පරිකල්පනය කිරීමට සමත් වේ.
“මගෙ බිසවුනේ අසාපන්” යන ආමන්ත්‍රණයෙන් ම සැමියා හා බිරිඳ අතර පවතින අන්‍යොන්‍ය ස්නේහය ගම්‍ය වේ. එහෙත් ඇයට මන්ද්‍රි දේවිය මෙන් ක්‍රියා කළ නොහැකිය. මන්ද්‍රි දේවිය නියෝජනය කළ පවුල, සමාජය දේශපාලන තන්ත්‍රය හා අර්ථ ක්‍රමයට වඩා වත්මන් බිරිඳගේ ජීවන පසුබිම වෙනස්ය; සංකීර්ණය. දෙදෙනාගේම ස්වාමි භක්තියෙහි වෙනසක් නැත. එහෙත් සමාජ ස්තරායනය වෙනස්ය. නූතන බිරිඳ වෙත පැවරී ඇති වගකීම් හා කාර්යභාරය විශාලය. පොඩි උන්ව බලා ගන්ඩයි, “ඉස්කෝලේ එක්ක යන්ඩයි” ලෙඩ දුකට පිහිට වෙන්ඩයි, සැමියාගේ වියෝවී හුදෙකලා වීමේ සාපයක් ලෙස “කුණු බැණුම් අසා ගන්ඩයි” “දිව විකා බර අදින්ඩයි” නගරයේ කුලී මාලිගාවේ නවතින්න ඈට සිදු වේ. වෙස්සන්තරට මෙන් මෙම සැමියාට කෙසේවත් ඇය කැඳවාගෙන යා නොහැකි ය. කවියා භාවිත කරන “කුලී මාලිගාව“ යන යෙදුම සියුම් උත්ප්‍රාසයක් දනවන්නට සමත් වෙයි. ඇය අනන්ත දුක් උසුලමින් තමන් වැහැරෙමින් දරුවන් පෝෂණය කරන අයුරු “කිරි ශිරා සියක් ඉල්පි...” යනුවෙන් අරඹා රක්ෂා කෙරෙත්මැයි” යනුවෙන් අවසන් වන කාව්‍ය ඛණ්ඩයෙන් මැනවින් නිරුපිතය. සැමියාට ද සිය දරු පවුලට දෝත පුරා ජීවිතය ගෙනත් දීමේ මෙහෙය පැවරී ඇත.
ඔහු ඊට මුළු හදින් කැපවී සිටී. ඒ නිසාත් ලද නියෝගයට අනුව ඒ දුෂ්කර පළාතේ යා යුතුය. “බෙලි කපන සතුන් අතරේ... කෙළ ගසන සතුන් අතරේ...” මිනිසුන් ද වැඩ වසන හෙයින් එහි පිටත්වන්නට අවසර පතයි. මෙම සංකේතාත්මක යෙදුම් මඟින් සමාජයේ සත්, අසත් භාවය පිළිබඳ විඥාන ධාරාවක් රසික මනසෙහි අවදි වේ.
කවියා නිර්මාණය කරන සැමියාගේ සහ පියාගේ භූමිකාව සහෘදයා ඔහු කෙරෙහි ගෞරවාදරයෙන් ප්‍රමුදිත කරවන සුලුය. සිය අඹු දරුවන්ගේ සෙනෙහසින් සිනිදු වූ අත්‍යන්ත සම්බන්ධය “නුඹ චන්ද්‍රමඬල වැන්නේ සා පැටව් එහි නිදන්නේ” යන්නෙන් ගම්‍ය වේ. එය වෙස්සන්තර ජාතක කාව්‍යයේ “ලපසේ සඳ විලසේ දවසක් වෙන්නුවෙම්මා යන හෘදයංගම උපමාවෙහි සොඳුරු ප්‍රතියෝජනයකි. නිර්මාණය සමාප්ත කරන්නේ “හිමවතට ඇවිත් හීනෙන් සිත සඳුන් තවරපන්නේ” යනුවෙනි. උදා වී ඇති අභියෝග හමුවේ වුවද සිය කුටුම්භය සුරක්ෂා කළ යුතුය. ඒ සඳහා නික්ම යාම අනිවාර්ය වේ. ඇයට ද කර්ණා කටුක නගරයෙ කුලී නිවසේ නැවතී දුක් අනුභව කරන්නට සිදු වේ. එහෙත් හීනෙන් හිමවතට පැමිණ, සිත සඳුන් තවරන්නට ඇති බාධාව කුමක් ද? විඳින පීඩනයට සාපේක්ෂව එය ද සෑහේ. කවියා සිය විරෝධාකල්ප ප්‍රකාශ කරන්නේ කලාත්මක සංයමයකින් යුතුවය. උපයුක්ත කාව්‍ය සංදර්භය සම්ප්‍රදාය ඥානය, සියුම් කථන ක්‍රම හා භාව ගම්‍ය භාෂා භාවිතය නිසා මෙම නිර්මාණය සහෘදයන්ගේ භාව මණ්ඩලයේත්, ඥාන මණ්ඩලයේත් නිම් වළලු ප්‍රසාරණය කිරීමට සමත් වේ.
මහාචාර්ය දර්ශන රත්නායක විසින් සිළුමිණ පත්‍රයට සැපයු විචාරයක් උපුටා ගතිමි.



Saturday, May 26, 2012

කැරපොත්තා


රඹ පැහැ ගැනුණු මුත් රත් පැහැයට                හැරුණු
ඔබ වත දකින විට බිය වෙයි සිත                     පිරුණු
ලොව උන් පිරිසිදුම සතෙකුය මුණ                 ගැසුණු
එනමුත් දකින විට හිරිකිත බව                        දැනුණු

තව එක් දෙයක් මේ ළඟකදි දැන                   ගත්තේ
පරිණාමය නැවතුණි තව පෙර                       තත්තේ
අප මෙන් වුණානම් පරිණාමය                      චිත්තේ
මෙලහට අප නැතිය ඔබ රජෙකුව                ඇත්තේ

හිස ගැලවුණොත් හෙම අනතුරකදී               ඔබගේ
ඉන්නට හැකිය තවදුර සයමසක්                      වගේ
ඉන්පසු නව හිසක් මතු වේ ඔබේ                    ඇ‍‍ඟේ
ඔබ වැනි සතෙක් නෑ මිහිපිට තවම                  අගේ

හදිසියෙ න්‍යෂ්ටික බෝම්බය             හෙළුවෝතින්
මිහිපිට සියළු සතගේ දිවි අහිමි                    වෙමින්
ඔබ පමණකි මේ ලොව තව ඉතුරු               වෙමින්
නැවතත් පරිණාමේ ඇතිවෙයි ඔබෙ              සිතින්

දැන්වත් මිනිසුනේ අපි මේ ගැන                   හිතමු
හිරිකිත කියා බොරුවට පොඩි ‍‍නොකර            ඉමු
හුරතල් සතෙකු ලෙස අපි මූ ඇති                  කරමු
නැතිනම් මූ දිහා බලලා අපි                        හැදෙමු


Monday, May 14, 2012

ඔබා මාමේ මුලින්ම දෙව්ලොව ගිහින් ඊටපස්සේ නිවන් යන්න....

කියවා දැන ගතිමි කිසි දින නොදුටු             නිසා
ඔබා නමිනි කවුරුත් ඔබ හට                     පවසා
හදවත පෑරුණේ දුක්බර පුවත                      අසා
ඔබ හට දැන් හැකිවේය දෙව්ලොව යන්න  තිසා

බ්ලොග් තුළ දැම්ම  ඔබෙ අදහස්  හරි      තරුණ
කිසිදින වුණේ නැත එය වියපත්               පරණ
කෙලෙසින් කියා අදහන්නද මේ              කරුණ
ඔබෙ නම අමරණීයය එය නොව              මරණ

මැයි මස රතු මලින් බර වී තිබුණි             දොහේ
එකිනෙක වැටේ මල් මේ බ්ලොග් නැමති   ගහේ
දැනුමෙන් යුතුව කළු කෙස් ගස් සුදට          පැහේ
වැටුණත් පර නොවන මලකැයි කියනු        ඇහේ

නිවන් සුව ලැබ ගන්න - නෑ දෙව්ලොව      යන්න
එවට හැකිය තව බ්ලොග් මල්               අරඹන්න
එහි සිට අපට තව අදහස් ලැබ                   දෙන්න
ඉන්පසු නිවන අනියත බව දැන                 ගන්න

සිංහල සිරිත් කෝ සිංහල අවුරුද්දේ

එරබදු මල් මෙවුල මිහිලිය බඳින            ඉණේ
බක් මස හමන සුළඟින් කම්මැලිව        වැනේ
මිය ගොස් ළඟදි සිට අවුරුදු දිගැස      සෙනේ
‍නොදනිමි අපේ ගැමි ආරට කිමද          වුණේ


ඉස්සර වගේ ගැමි ගෙදරක ඉදෙන           බත
අද කිරි මුසුව ලිග්ගල් උඩ ළඟිනු            නැත
කහවනු ගෙවා මිළ දී ගත් කඩය             වෙත
බටහිර උපන් රස මසවුලු එමට               ඇත


යුගයෙහි අපේ පෙම්බර මව්           පියන්නේ
අතිරහ කොකිස් බක් මාසෙලු       උපන්නේ
ලිප ලඟ මොටද මුළු දවසම        හැපෙන්නේ
කැවුමුත් අලුත් අච්චුවකිනි         හැදෙන්නේ


පන්සල් වල ගමේ නැත හිසතෙල්         ගෑම
අතහැර දමා ඇත සුබ නැකතට              කෑම
නො කෙරෙයි පරණ අවුරුද්දට දිය       නෑම
නව අවුරුදු සිරිත බේබද්දකු                   වීම


මියැදුණු මුතුන් මිත්තන් අපට හිමි         කළ
නැතිවිය පැරණි සිංහල සිරිත් මිණි         වැල
ඉහිරුණු කිරට වැළැපී කිමද ඇති           පල
පුදුමයි අලුත් අවුරුද්දකට ගිය               කල


වීරසිංහ මල්ලිමාරච්චි
(සිතිවිලි සයුර)
1993


Thursday, May 10, 2012

සඳ කියයි අඩ අඩම...

කහ පාටින් දිලුණ 
‍හන්දියේ බිල්ඩිම් අතරින්...
සිත පුරා ගමන් කර
නැවත අහසට වීය
හෝ ගාන බස් රථය
ලයිට් කණු
පහු කරයි ...
ඒත් හඳ තවම
යනවා මගෙ පාරෙම 
නිකම හඳ නෙවෙයි අද
මෝදු වුණ වෙසක් සඳ 
දන්සලේ පෝළිමට
එළිය දුණි නිබද ස
බුදුන් බුදු වූණු වෙලාවේ 
සිටි සඳම තමයි අද
ඒ වුණත් සියළු සත
පන්සිලුත් කඩනවද...
ඳ කියයි අඩ අඩම
මේවා දකිනට සබ
දෑස මගෙ පව් නැද්ද ?

Saturday, April 28, 2012

අවුරුද්දෙ හැම දෙනාට ඩිජිටල් සිත් පහළ වෙන්න.......

අවුරුද්දට කොන්ඩ කැවුමෙ කොන්ඩෙ ගන්ඩ සර්ච්       කොරන්
මුං කැවුමෙ හැඩය ගන්න ඉලස්ට්‍රේට ගත්තු                        තරන්
ආස්මිවල පාට දැම්මේ ‍‍ෆොටෝෂොපුත් ළගම                   තියන්
කැවුම් හැඩේ ගත්තා මේ දිනවල මොනිටර්                     අයිකන්

දුරකථනය නාද දෙන්නේ කෝකිලයගෙ මිහිරි                  නදින්
මේ දිනවල චැ‍ට් කරන්නේ තෙල් තාච්චි ලිපේ                  තියන්
හදන හදන කැවුම් වලට කමෙන්ට් ලැබෙයි දෝරේ           ගලන්
පවුලම ස්කයිප් නිසා කිරි ඉතිරුවා එකට                            ඉදන්

සැගවුණු අමුත්තා දැක්කම මැසෙජ් එකක් කොටල             යවා
ටච් කරලා බිදිය හැකියි කනා මුට්ටි තරගේ                          පවා
අලියට අපි ඇහැ තිබ්බේ "අයි"පැඩ් එක අතේ                 හොවා
පැපොල් ගෙඩිය ස්කැන් කොට හරි ගාණත් දුන්නා             මවා

නොනගතේට හැම වැඩක්ම අමතක කර  චැට්              කරන්න
අවුරුද්දේ කෑම මේසේ හැම දෙනාට ටැග්                     කරන්න
නෑගම් යන්නට කලියෙන් මේල් එකක් යවල                   ඉන්න
පරණ තරහ ඩිලිට් කරලා අලුත් කනෙක්ෂන්                  හදන්න

අවුරුදු කුමරිට කුමරට ලයික් එකක් දමල                        යන්න
නව වසරේ සෙටින්ග් වලට ඉක්මණින්ම මාරු               වෙන්න
මේ වසරේ හැකි වේවා පැල් බැදගෙන බ්ලොග්            ලියන්න
අවුරුද්දෙ හැම දෙනාට ඩිජිටල් සිත් පහළ                    වෙන්න


Monday, February 27, 2012

මතක රන් පැස

මග දමා යනු බැරි මතක
අරන් යමු අපි
සඟවා රන් පැසක
හදවතේ ගැඹුරුම තැනක

කොයිතරම් බර වුනත්
හදවතට ....
විසිකරනු බැරි මතක
කොයිතරම් සිරවී ඇත්ද
සිනාවෙන හඬන
ලස්සන මුහුණු යට




.....පසු සටහන


වෙන බ්ලොග් එකක කමෙන්ටුවක් විදිහට ලියවුන වචන ටිකක් . කවිමුතු පාළු වෙලා ගිහින් නිසා නිකමට ඔහේ ලියා දැම්ම .