සටනක වගේ වෙඩි හඬ ගෙය දෙසින් ඇසේ
මම දිව ගියෙමි වැව සිට තෙත පිටින් හිසේ
දැඩි සේ ගොරදෙමින් දුක් බැල්මකින් ඇසේ
නාඹර මුව දෙනක වැව ළඟ හෙමින් නැසේ
කටු කම්බියට ලස්සන හම ඇත සීරී
මා මය දතුයෙ මගෙ හද ගිය සැටි පෑරී
වැදි කොලුගෙන් ඇයට නොගියැකි විය බේරී
ඇගෙ මළ බුරුල්ලෙන් වෑහෙයි කිරි බේරී
වෙඩි හතකින්ම හම සිදුරුව තිබුණි ඇගේ
හැඬු බව ඇසූයෙමි ඈ වත්තෙහි ම මගේ
මිනිසුන් ළඟට ඈ ආ වග හිතට නැඟේ
සිතිවිලි වුණා පිනිබිඳු කම්බියක දිගේ
මිරිසට උයා තිබු ඇගෙ මස එදින රැයේ
මට කිරි රසට වැටහුණු බව මතක තියේ
මුළු රෑ මසිත මව නැති දරු වෙතය ගියේ
මම නිදි ගතිමි පසු දින හිරු නැඟෙන පැයේ
''ඉර පායා ඉර මුදුනට එන්ට එපා''
''හඳ පායා හඳ මුදුනට එන්ට එපා''
''දිවි නරි පිඹුරු කටකට කැපවෙන්ට එපා''
''අම්මා නැති අපට බඩගිනි වෙන්‍ට එපා''
ඈ මිනිසුන් මැදට මහ දාවල එන්ට
බියකින් විය යුතුය දඩයම්කරු වන්ට
එද මහ දවල් මිනිසුන් මැද හඬ දෙන්ට
හේතුව දනිමි මවු පෙම කිරි දරු වන්ට
''ඉර පායා ඉර මුදුනට එන්ට එපා''
''හඳ පායා හඳ මුදුනට එන්ට එපා''
''දිවි නරි පිඹුරු කටකට කැපවෙන්ට එපා''
''අම්මා නැති අපට බඩගිනි වෙන්‍ට එපා''
කිරි දී සතප්පා පැටවුන් සෙවණ තුළ
සඟවා රස බලන බව මව ළපලු වල
ඇසුවත් පෙරදි මා වන්නියෙ සිටිය කල
නොදනිමි කරුණ ඈ මගෙ වත්තෙහිම මළ
දා ගිය අතු පඳුරු ගින්නෙන් නිකිණි මසේ
සෝකිව ඇඹෙරෙමින් වැළපෙන හැටිය ඇසේ
ඉඳ හිට සුළඟ නවතී ඩා නිවන ලෙසේ
හදවත සිරස බර මම නිදියමිද කෙසේ
''ඉර පායා ඉර මුදුනට එන්ට එපා''
''හඳ පායා හඳ මුදුනට එන්ට එපා''
''දිවි නරි පිඹුරු කටකට කැපවෙන්ට එපා''
''අම්මා නැති අපට බඩගිනි වෙන්‍ට එපා''
බලු කුකුරුවන්ගේ බඩගිනි හැඬුම වැනී
හැඬුමක් ඇසේ නල බල වන විටදි තුනී
මුව පැටවුන්ගෙ පැමිණිල්ලකි හොඳට දැනී
මහ රෑ මගේ දෑසින් උණු කඳුළු පනී
ඇස් දෙක රතුව දුටුයෙමි පසු දවස උදේ
මට පැහැදිලිය මුව පැටවුන් විඳින වදේ
උන්ගේ බැගෑ හඬ මා පසු පසම ඇදේ
මගෙ හදවත එයින් බිහිසුණු විලස රිදේ
ගෙවුයන නිමා අවටැති වතු පිටි නුදුරු
පැටවුන් සොයන්නට පීරූයෙමු පඳුරු
වැදි කොලු කෑ ගසයි පඳුරක් ළඟ අඳුරු
ඔහුගේ හඬින් මිදුණා පිඹුරුගේ ගොදුරු
එක පැටවෙක් එතී පිඹුරගෙ දරණ මැද
නිදහස් වෙන්ට දඟලත්දී වෙහෙස විඳ
වැදි කොලු පිඹුරු ගෙල මිරිකන විටදි ඇද
පැටවා දුවන්නට විය මළ පඳුරු බිඳ
''ඉර පායා ඉර මුදුනට එන්ට එපා''
''හඳ පායා හඳ මුදුනට එන්ට එපා''
''දිවි නරි පිඹුරු කටකට කැපවෙන්ට එපා''
''අම්මා නැති අපට බඩගිනි වෙන්‍ට එපා''
විමලරත්න කුමාරගම
මේ කවිය පල කරන්නට විශේෂ හේතුව මීට පෙර විමලරත්න කුමාරගමයන්ගේ 'හේරත් හාමි' කවි පන්තිය පල කිරීමෙන් පසු මෙවැනි අදහසක් ලැබූ බැවිනි.
සරත් ගුණතුංග said.
විමලරත්න කිවිඳුන්ගේ පබැඳුම ට
දහසක් වරක් පින් සිදු වේවා ඔබ ට
පාසැල් වියේ රස විඳි ඒ කවි වල ට
තවමත් දුවයි සිත පණහේ දශකය ට්
එපා එපා හිර මුදුනට එන්න එපා
එපා එපා සඳ මුදුනට එන්න එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා
මේ කවි පදය නම් නොලියා ඉන්න එපා
දහසක් වරක් පින් සිදු වේවා ඔබ ට
පාසැල් වියේ රස විඳි ඒ කවි වල ට
තවමත් දුවයි සිත පණහේ දශකය ට්
එපා එපා හිර මුදුනට එන්න එපා
එපා එපා සඳ මුදුනට එන්න එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා
මේ කවි පදය නම් නොලියා ඉන්න එපා
Bindi said.
ඔන්න මම ආසම කවියෙක්ගේ ආසම කවි පෙළක්. කොළඹ යුගයේ කවි රසවින්දින්නෙක් ලෙස මගේ ස්තුතියත් ඔබට අසංක . සාමාන්‍ය මිනිසාගේ සරල බව සුගම ලෙස කියන්නට හපනෙක් කුමාරගම කවියා . ඔහුගේ ඉතුරු කවි ටිකත් ඉඩ ඇති විට දාන්න මල්ලි හැකිනම්
මචන් අයියනායක ලිව්වෙත් මෙතුමා නේද
ReplyDeleteසෙවනැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේ
කාලය විසින් හැරුව නුග ගසක බෙනේ
මළකෑ අළුව ගිය ආයුධ කැබලි පෙනේ
දෙවියෙක් නැතද මෙහි බලයක් තියෙනු දැනේ
බුදුගුරු අනි හිරුට හිමි හැම දවස් වල
මෙ සන් හිඳේ එළියක් ඇත සවස් කල
ලෙඩ දුක් වලින් මිදුමට බාරයක් වුන
හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල් වල
ඒකාලේ අපේ සහිත්‍ය පොතේ තිබුන මං ආසම කවි පන්තියක්
ඔවි ඔව් ඊළඟට පළ කරන්න හිතන් හිටියේ 'අයියනායක' කවි පන්තිය.එතුමාගේ කවි වල තියෙන්නේ අමුතුම රසයක්. ඔහුගේ පද පෙරළිය නම් විශිෂ්ඨයි. මොකද ඒවා මාරම මාර විදියට ගලපලා තියෙන්නේ..
Deleteකොළඹ යුගයේ කවි වල තිබුන රසය නිමකරන්න බෑ. කුඩලිගම, මීමන ප්‍රේමතිලක, සාගර පලන්සූරිය, පී.බී., වගේ කවීන් ගොනුකළ සාහිත්‍ය රසය අදටත් වලංගුයි.
ReplyDeleteබොහොම පින් මෙවැනි වටිනා කාව්‍ය නැවතත් අපඅතරට ගෙනෙවිත් දුන්නට ....
ReplyDeleteරසවත් කවිපන්තියක් දැනුවත් කලාට තුති
ReplyDelete''මිරිවැඩි '' කවි ටිකට කමෙන්ට් එකක් දාන්නත් බැරි වුනා . මල්ලි ඉතින් සමාවෙන්න ඕන . ඉස්කෝලේ නිවාඩු දෙන්න ලඟයි . නිවාඩු කාලේදී වත් මොනා හරි ලියන්න බලන්නම් .
ReplyDeleteකොළඹ යුගයේ කවිවලට මමත් කැමතියි . මේ කවි පෙළ කියවූ බවක් මතක නැහැ . බොහොම පින්
ඒක තමා මාත් බැලුවේ මොකද අක්කා මොකද පරක්කු කියලා. කමක් නෑ අක්කේ ඔය වැඩ ඉවර කරගෙන මේ පැත්තේ එන්නකෝ.. ඒක නෙමේ අක්කගේ කවි පන්තියක් කාලෙකින් කියවන්න බැරි වුණා.
DeleteLassana kaviyak!
ReplyDeleteලස්සන කවි පන්තියක් රස විඳින්නට දැම්මාට පින්. මේ කවි පන්තිය ට කලින් එකට කමෙන්ටුවක් දමන්නට බැරි උනා. දැන් ටික ටික ඉඩ තියෙන විට ලියන්නම්. ස්තූතියි ! සටහනට.
ReplyDeleteඒක තමා මන් බැලුවා කවිමුතුමල් අමතක වෙලාද කියලා. චන්දි අක්කගේ කවියක් රස විඳින්න මග බලාගෙන ඉන්නේ..
DeleteWalas dadayama danna puluwannam mama asama kavi panthiyak
ReplyDeleteවලස් දඩයම කවි පන්තිය තියේද මෙතුමගෙ?
ReplyDeleteඉල්ලීම ඉටුකළා. පළකළා.
Deletehttp://kavimuthumal.blogspot.com/2021/06/blog-post_27.html
ඇත්තටම මෙම කවි පන්ති තව කෙනෙකුට ඇහෙන්න කියවන්න අමාරුයි.ඇස් දෙකට කඳුළු පිරෙනවා.අපේ සුන්දර ළමා කාලය තරුණ කාලය මැදිවිය සර්ව සම්පූර්ණ කරපු හැඟීම් උපද්දවපු මනුෂ්‍යයෙකු වූ සතු විය යුතු මානුෂීය සිතුවිලි සත්ව කරුණාව මේ කවි පන්තිය අරගෙන හය වසරේ නං එන්න හැම ළමයෙකුටම පිළිවෙලින් ලස්සනට සිංහල ගුරුවරුන් කියලා දෙනවා නං නම් අපේ රටේ ගොඩක් තැන් හදන්න පුළුවන්.හදවතේ තෙතමනේ උපද්දවන වලස් දඩයම වැනි කවි පන්ති පුළුවන්නං මේ විදිහට ඉදිරිපත් කරන්නේ මෙවැනි දෙයක් සංවිධානය කරමින් බොහොම වෙහෙස මහන්සි වෙමින් කර ගෙන යන ඔබට ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.
ReplyDeleteස්තූතියි. ඉල්ලීම ඉටුකළා. පළකළා.
Deletehttp://kavimuthumal.blogspot.com/2021/06/blog-post_27.html
දඩයම කවි පන්තිය දාන්න.
ReplyDeleteපූලයි මායි පලුගස් දෙබලක මැස්සේ...
ඉල්ලීම ඉටුකළා. පළකළා.
Deletehttp://kavimuthumal.blogspot.com/2021/06/blog-post_27.html