බක් මස හමන සුළඟින් කම්මැලිව වැනේ
මිය ගොස් ළඟදි සිට අවුරුදු දිගැස සෙනේ
නොදනිමි අපේ ගැමි ආරට කිමද වුණේ
ඉස්සර වගේ ගැමි ගෙදරක ඉදෙන බත
අද කිරි මුසුව ලිග්ගල් උඩ ළඟිනු නැත
කහවනු ගෙවා මිළ දී ගත් කඩය වෙත
බටහිර උපන් රස මසවුලු එමට ඇත
යුගයෙහි අපේ පෙම්බර මව් පියන්නේ
අතිරහ කොකිස් බක් මාසෙලු උපන්නේ
ලිප ලඟ මොටද මුළු දවසම හැපෙන්නේ
කැවුමුත් අලුත් අච්චුවකිනි හැදෙන්නේ
පන්සල් වල ගමේ නැත හිසතෙල් ගෑම
අතහැර දමා ඇත සුබ නැකතට කෑම
නො කෙරෙයි පරණ අවුරුද්දට දිය නෑම
නව අවුරුදු සිරිත බේබද්දකු වීම
මියැදුණු මුතුන් මිත්තන් අපට හිමි කළ
නැතිවිය පැරණි සිංහල සිරිත් මිණි වැල
ඉහිරුණු කිරට වැළැපී කිමද ඇති පල
පුදුමයි අලුත් අවුරුද්දකට ගිය කල
වීරසිංහ මල්ලිමාරච්චි
(සිතිවිලි සයුර)
1993
No comments:
Post a Comment
කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................