Sunday, June 3, 2012

මිරිවැඩි සඟල

කිසිදින දෙපා හට නොරිදුම් නොදෙන          නියා
මඟතොට සෑම තැනදිම මා රැකූ                  පියා
තබනා පියවරක් පාසා ඉන්න                      කියා
කළගුණ සළකන්න නොහැකිය කවක්        ලියා

මා යන සෑම තැනකම මගෙ දෙපය               යට
ඔබ සිටියා නිරන්තර මා සැපත                 කොට
ගල් මුල් මඩ ගොහොරු පෑගෙන විටදි         මට
ඔබ සම සිතින් දැරුවා මගෙ සතුට                පිට

විසිතුරු හැඩ මැවුණු එහි පිට පතුල               මත
තිබු හැඩතල රටා සැනෙකින් මැකුණි          වත
මනරම් හැඩති නෙක නෙක සඟලවල්       වෙත
එනමුත් ඔබ පමණි මාගේ සැනසු                හිත



මිරිවැඩි සඟල දැන් ටික ටික පරණ             විය
සැමදා මෙන්ම මෙනි ගෑවෙන විටදි            පය
අටවක සඳක් මතුවූවා පතුලේ                    සිය
ටික දවසකින් පුර පසළොස්වකට              ගිය

ගණන් කළ නොහැකිමුත් නැතිවුණු           වාර
නැවතත් හමුවුණා එය පුදුමකි                    මාර
ඔබ සිටි නිසා මගෙ ජීවිතෙ විය                   සාර
තවමත් යනවා මා සමඟම මහ                    පාර

එක් දවසකදී ඔබ නැති බව දුටුවා            ඇහින්
සැම තැන සෙව්වමුත් හද පිරි ශෝක       දුකින්
අළුත් සඟලකට කාලය පැමිණි              හෙයින්
තවමත් දුකයි ඔබ යන්නම යන්න           ගිහින්

4 comments:

  1. නොම දුක් වන්න අකාලයේ නොගිය නිසා

    සත්‍යය එයයි කවදා හෝ වියැකී යයි

    බලු තඩියෙකුට හදිසීයේ හමුවුනි නම්

    මීට කලින් ඔහු ඔබගෙන් සමුගෙන ගොස්

    ReplyDelete
  2. ඉස්සර කවි කොළ කලවට අනුව ලියැවුණ කවි පෙලක්...

    ReplyDelete
  3. සෙරෙප්පු ජෝඩුවක් ගැන කවියක් ඇහුවමයි. මරු ගැලපීම. සුපිරියට ලියල

    ReplyDelete
  4. මටත් කොහේ ගියත් සෙට් වෙන්නේ සෙරෙප්පු කාලි දෙක තමය්
    කවිටික සුපිරිය්

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................