Monday, June 18, 2012
එම මළ ගෙවල් දෙකටම මා යා යුතුය
දෙදෙනෙක් සිටියේය දෙදෙනම වයසකය
එකෙකු පන්සිල්ය අනෙකා බොනවාය
අකලට නොවූවත් දෙදෙනා මියැදීය
ගෙවල් දෙක අසල සුදුකොඩි එල්ලීය
බොනවා වුණත් ඔහු හරියට පොහොසත්ය
නිවසද තට්ටු හතකින් ඉහළට වීය
පන්සිල් රකින ඔහු හට හිමි පැල්පතය
රට උළු වලින් වැහිබිඳු බිමටම වීය
පැල්පත හිමිවු ඔහු පන්සිල් ගුණසිරිය
තට්ටු නිවස හිමි ඔහු කුඩු සේකරය
දෙදෙනගෙ ගෙවල් දෙක එක ළඟ පිහිටීය
එනමුත් ඔවුනොවුන් අඳුරන්නේ නැතිය
සේකර නිවස හත් ගව්වක් සුදු කොඩිය
ගුණසිරි පැල්පතේ එක කොඩියක් වීය
සේකර බලන්නට ආ බස් පිරිලාය
ගුණසිරි මළගෙදර නෑදෑයොත් නැතිය
සේකර පොස්ටර A3 සයිස් විය
A5 සයිස් හිමි වූයේ ගුණසිරිය
සේකර මළගෙදර ආ අය පොෂ් වීය
අර මළ ගෙදරනම් සිටි අය වයසකය
බොන්නට බීම කන්නට බිස්කට් ඇතිය
කොපමණ සෙනඟ හිටියත් හරි සුවඳමය
සුවඳ දියරයක් ඉට වග කීවේය
සාලයෙ ඉස්තරම් පෙට්ටියේ ඔහුගේ කය
මැස්සන් සිටි නිසා එහි හරි කරදරය
මරණාධාර සමිතියේ පුටු හිස් වීය
ටික මොහොතකින් පහන් දැල්ල නිවුණේය
පහන් දැල්ල ලෙස වූ ඔහු ජීවිතය
එකම කනත්තක දෙදෙනම වැළලේය
ඉන්පසු දිර දිරා යයි පොහොරව දෙ' කය
යායුතු වීය නරලොව හෝ ලොව දිව්‍ය
එම මළ ගෙවල් දෙකටම මා යා යුතුය
Subscribe to:
Post Comments (Atom)
යාතාර්ථය ඒ අයුරින්ම ලියා ඇත!
ReplyDeleteහරිම සංවේදියි අසංක මල්ලී. මේකම නේද? බොහෝවිට සිදුවන්නේ. හරිම යතාර්ථවාදීව ලියවිලා. ඔබට ජයම පතනවා.
ReplyDeleteසමහරුන්ට පෞද්ගලික සුසාන භූමි කියලත් තියනව නොවැ. හැබැයි කොහෙ උනත් පොලොව යට පනුවො තමා.
ReplyDeleteසේකර ගුණසිරිද යනුවෙන් වෙනස් නැත
ReplyDeleteකෙටි කලකින්ම එක ලෙස කය දිරනු ඇත
ඇති නැති වෙනස පවතීනම් යම් දියත
මේ දුක් ගීත සවනට පාවෙනව ඇත ...
ගුණසිරි මැස්සො පිරි මඩුවෙන් පිට වෙද්දී
සේකර නික්ම යයි දහසක් දුක් වෙද්දී
කර ගත් කුසල අකුසල ගැන විමසද්දී
ගුණසිරි දිව්ය ලොව සේකර නිර යද්දී ......
හරිම ඇත්ත . අපුරු අදහස . ආයෙමත් කියවා බලන්න මල්ලි . රිද්මය ටිකක් අවුල් වෙලා බොහොම තැන්වල
ReplyDeleteහොඳ අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. කවි පන්තිය පිළිඹඳ කුඩා විචාරයක් අසංක මල්ලිට පෞද්ගලිකව යොමු කර ඇති.
ReplyDeleteඅසංක මල්ලිගේ ඉල්ලීම පරිදි මා කළ කුඩා විචාරය මෙහි පල කරමි.
ReplyDeleteහොඳ අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ප්‍රකාශ කරන්න ලොකු හදිස්සියක් තිබුණු බවයි පෙනෙන්නේ. බොරු වර්ණනා කරන්න කැමති නැහැ. එහෙම කලොත් ඔයාගේ කවි වල අඩු පාඩු හැදෙන්නේ නැහැ. කවි වල ඒකාකාරී බව වැඩියි. බින්දි අක්කා කිව්වා වගේම රිද්මයේ අවුලකුත් තියෙනවා. මා දකින විදිහට නම් මේ අඩු පාඩු වෙන්නේ ඔයාගේ හදිස්සිය නිසයි. නැතුව හැකියාවේ අඩුවක් නොවෙයි. කවි පන්තියක් පළ කරන්න කලින් නැවත නැවත කියවමින් අඩු පාඩු සකස්කරන්න. ලියවුනු සමහර කවි හරි නැහැ කියල හිතෙනවා නම් ඒවා අමුතුවෙන් ලියන්න. ඒ වගේම මම තවත් දකින දෙයක් තමා ඔයා හතර පැදි අතරම හිරවී සිටින බව. ඒකත් එකම රිද්මයක් එක්ක. මෙයින් බැහැර වෙන්න. වෙනත් රිද්මත් භාවිතා කරන්න උත්සාහ ගන්න. නිසඳැස් වෙතටත් යොමුවෙන්න. ඔයාට දුර ගමනක් යන්න පුළුවන්.
ගොඩාක් හොඳ කවියක්!
ReplyDeleteදිගටම කරගෙන යන්න.
හදවතින්ම සුභ පතනවා.