Friday, March 13, 2015

ඈත බංගලි දේශයේ සිට 
ලියු කවියක්         පෙම්වතී 
රෑට මෙහි එන ගමන් අරගෙන
 ඇවිත් තිබුණා සඳවතී 

උදේ මුරයට වැඩට ආ ඉර 
එක්ක එනකම් පෙම්වතා 
අහසටම උස ක්‍රේන් එක  උඩ 
තවම ඉන්නව සඳලතා 

.....

Friday, July 25, 2014

කැම්පස් ජීවිතේ..

උදේ වේල නැත අප කන්නේ             බඩට
දහවල උදෑසන දෙක කන්නේ            එකට
වෙනකක් නොවෙනු ඇත ඒ දුප්පත්    කමට
මේ දුක කියන්නේ කොහොමද       අම්මාට

Wednesday, February 12, 2014

රැහැයියා

කවිමුතුමල් පේස්බුක් පිටුවේ ටික කාලේකට කලින් පළවුණ කවියක් කවිමුතුමල් බ්ලොග් පිටුවෙත් ඇමිණුවා.....

Sunday, February 2, 2014

ලීස්තර වැට

පඩි පෙළින් උඩඟු කළ මහ ගෙදර ආලින්දෙ
ලී කුලුණු යා කරන ලීස්තර වැට මැදින්
නෙත් හෙළමි අදත් මම කුඩා දරුවෙකු ලෙසින්
පාළුවෙන් පුරන් වූ ඈත වෙල් එළිය වෙත

මෝස්තර කැටයමින් බැබළෙනා ලී පටි ද
අලුත් බීරළු සේ ම දිළෙන සැමදා සුද ද
වට කළේ ජීවිතය බෝධි කොටුවක් ලෙසින්
සැමදේ ම මා දුටුවෙ ලීස්තර වැට මැදින්

පාන ළඟ වැඳ වැටෙන අම්මාගෙ මුව මඬල
පසුපසින් පෙළ ගැසෙන නැඟෙණියන්ගේ පිළිම
සැඳෑ එළියේ ඇඳෙන සංසාර සෙවණැල්ල
බලා සිටියෙමි  තනි ව ලීස්තර වැට මැදින්

වසරකට වතාවක් පිළිසකර කර වැට ම
පාට ගෑවේ සුදට සාර්ලිස් බාස් විත්
මගේ සිත අලුත් වී ලීස්තර වැට සමඟ
අමුතු එළියක් වැටිණ එවිට මිදුලට සිතට

මා අවට ගලා ගිය ජීවිතය දෙස නිතර
සුදු ලීස්තර මැදින් බලා සිටියා මිසක
උස් පිලෙන් බිමට බැස ඒ දිවිය වෙත එළැඹ
වෙළෙන්නට ගැටෙන්නට හරස් විය මේ වැටම

පාළුවෙන් පුරන් වූ ඈත වෙල් එළිය මෙන්
මගේ සිත පුරන් වී ඇත මෙදින ශෝකයෙන්
කොළ හැලුණු මිදුල මත නගා සර සර හඬක්
පාන් පැල ළඟට යන අම්මාගේ සේයාව
සැඳෑ එළියේ ඇඳෙන සංසාර සෙවණැල්ල
බලා සිටිනෙමි අදත් ලීස්තර වැට මැදින්


එරික් ඉලයප්ආරච්චි
( ආලින්දය, 1988)

Thursday, January 30, 2014

මැෂිම


ටකට ටකට
හදවත ගැහෙන හඬටත්
වඩා වේගෙන් ...
හිතේ දුකට නෑ කඳුළු
කයි කියා මළකඩ
ඉදිකට්ට
වෙලාවක් කලාවක් නෑ
ටකට ටකට
ලබන මාසෙත් ළඟයි
ළමයින්ගේ පංතියට
අම්මාගේ සොහොන් කොත
නෑ තාම බැන්දේ මම
ටකට ටකට

Wednesday, October 16, 2013

දිනක් ඒවිද යලිත් පෙම් සුවය විඳින්නට.....


















වියලුණු දෙතොල් මත
තෙතමනක් රඳන්නට
තෙත් වූ නෙත් කෙවෙනි
වියැලිව හරින්නට

ඉරි තැලුණු බිමි කඩට
සිහින් වැහි වසින්නට
ඇළ දොළද ගං පිරි
ඉතිරිලා ගලන්නට

නොපිපි මල් කැකුලුවල
පිපි සුවඳ රඳන්නට
ඉපල් වුණු අතු රිකිලි
කොළ මලින් පිරෙන්නට

නොපිරි කුස පොත්තමත
බත් ඇටක් පිරෙන්නට
සෙනෙහසක් අවැසි විට
සෙනෙහෙසක් පුරන්නට

සැඩ සුළං හමාගොස්
මද පවනෙ නටන්නට
දිනක් ඒවිද යලිත්
පෙම් සුවය විඳින්නට.....

Monday, August 19, 2013

මල තලා රොන් ගනී මී මැසි







නිසල දියමත නැගෙන පෙණ පිඩු 
සුළං රැළි වැද නටයි වැටි වැටි
නැගෙන බිඳෙනා රලෙහි හැපි හැපි
ඉරුගෙ රැස් යයි එතී දියඹෙහි

සිනා සරකින් නැගෙන මදහස
දෙතොල්පෙති මත රඟයි දිලි දිලි
දෙකම්මුල් මත සැදෙන සුළියක
නොකී රහසක් වීය බිඳි බිඳ

පාට මලකට ඇදෙන මී මැසි
කැලත විත් රඟ දෙමින් ඉගිලෙති
මලේ ඇති රොන් ටිකෙන් ටික ගෙන
මල තලා රොන් ගනී මී මැසි

Saturday, August 10, 2013

එයින් විසිතුරු නුඹේ වතනම් ඇත්තටම මනරම්

හිස් අහස් කුස වළාකුළු ගෙන නුඹේ ගතවට               දවටමි
දුහුල් සළුවක් වගේ ඔතමින් ගතට ලස්සන             ගෙනඑමි
දිදුල තරු කැට පොකුරු අතරින් එළිය ඇති තරු     ගන්නෙමි
එවන් තරු කැට දෙකක් අරගෙන නුඹේ කන් පෙති     සරසමි

රන් තැටියවන් රවුම් සඳ දැක සිනාවෙන් මුව          පිසිනෙමි
එවන් සඳගෙන නුඹෙ ලමැදේ රන් මලක් ලෙස          දවටමි
රැයේ පිණිබිඳු තුෂර කැට ගෙන නුඹේ ගෙලවට          දවටමි
පැණින් මුකුලිත නුඹේ දෙසවන් අසා ඉන්නට           ලංවෙමි

අඳුර බිඳගෙන වලා අතරේ නැගෙන සඳ                  මනරම්
සඳේ එළියට ඉඟි බඳින්නට පිපෙන තරු                  මනරම්
නැගී බැසයන සඳට ඉඩදෙන වළාපෙල                   මනරම්
එයින් විසිතුරු නුඹේ වතනම් ඇත්තටම                  මනරම්



Tuesday, June 18, 2013

මඟ බලා සිටිමි

මල් පිරුණු ඇහැළ ගහ වටකරන් කහපාට මල් අදත් වැව රවුමෙ       පිපෙනවා
බොඳ වේචිචි මීදුමක් ඇවිත් හිමිහිට හොරෙන් ලතාවට මහ පොළොව   සිඹිනවා
සීරුවෙන් පායාපු හඳ එළීය මැදි කරන් තරු රෑන දිලි දිලි                  නිවෙනවා
කොහොම ඔබ කියූවත් මගේ හිත ගැබ්බරයි ඒ නමින් සෙනෙහෙ මල් පිපෙනවා

පාලු රෑ පුරාවට සඳ තරුත් මැදි කරන් ජීවිතය හෙමි හෙමින්            ගෙවෙනවා
දුහුල් සළු තිර මතින් ඇවිත් නල ගැටි ගැටී මගේ හිත සුසුමකින්        තෙමනවා
රාත්‍රිය අදුරකින් වැසී ඇති වෙලාවට සුරඟනන් පෙම් කතා                 කියනවා
ඒ කතා අහන්නට අනේ නුඹ හිටියනම් මට මෙහෙම දුකක් නැහැ       සිතෙනවා

පින් පිරුණු ආත්මය හොවාගෙන පපු තුලම උණුසුමින් මගේ හිත       තෙමනවා
නෙත් පියන්නට බයයි හීනෙකින් ඔබ ඇවිත් ඇහැරවන බවක් තව     දැනෙනවා
මේ සොඳුරු රැය පුරා නෙතු අසල දැවටිලා ඔබ ඇතැයි ඔබ ඇතැයි     හැඟෙනවා
මේ හීන මල් පොකුර විකසිතව හිනැහෙනා දිනය කවදද කියා           හිතෙනවා

Monday, June 17, 2013

සබඳ අපි ඇවිද යමු

සබඳ අපි ඇවිද යමු
මේ නුහුරු මාවතේ
මුණගැසෙන තුරු තවත්
පෙම්වතුන් මේ වගේ...
ඉර එළිය වැටෙනතුරු
හිම කැටිති දියවගොස්
අතින් අත පටලවා
සිනාසෙමු සිත් ලෙසින්...
රෑ අහසේ තරු කැලත
දිලී බබලන විටෙක
සඳ එළිය සොයා ගොස්
ගතු කියමු සීරුවට...
නුබ ගැබේ වළාකුළු
කැටිති ලෙස පෙල ගැසී
වැහි බිංදුවක් ලෙසින්
පාත්වන තුරු බිමට....
මල් පිපී සුවඳ දෙන
හිමිදිරියෙ ඇවිදයමු
මේ පාළු මාවතේ
එළිය දකිනා රිසින..
බිම් කරුවල වැටීල
අඳුරකින් වැසෙන කොට
සුසුම්ලමු එක්වෙලා
අතීතය ගැන තවම...
මේ තරම් දුර උනත්
යන්න ඇති දුර අපට
යා යුතුය නොනැවතී
ඉසිඹුවක් ලබන්නට..
හීනයක දැවටිලා
සොඳුරුවූ දිගහැරුම
එනතුරා බලාඉමු
දුකක් නැහැ නොවැ සිතට.