Tuesday, January 24, 2017
ගම්පති වලව්ව
බිත්තිය පුරාවට බැඳිලා ඇති සෙවලයි
පොතුද ගැළවිලා ඇත එහි වී අපලයි
අං තට්ටුව පුරා රජයන මකුළු දැලයි
හිත තුළ ඇති කරන මූසල බව සසලයි
මැද මහ හිලක් ඇති කළ වේවැල් පුටුවේ
ඉස්සර මතක පෙළ ඒ අතරිනි දුටුවේ
කනප්පුවට බර දුන් පත්තර පිටුවේ
එළියක් හෙම නොවේ මේ කිසිවක් දුටුවේ
මුළු ගේ විවර කළ දොර පළු දෙක අතර
තවමත් තෙත බරිත වී බේරෙයි වතුර
රට උළු හිඩැසකින් එළියක් නොම කවර
ආවත් එළිය සඟවාලයි අතු පතර
මිදුල පුරා විසිරුණු කොළරොඩු අස්සේ
පිලිකන්නේ වළං අතුරපු ලී මැස්සේ
අව්වක් පෑයුවත් පැය ගාණක් තිස්සේ
වියැලෙන්නට කලින් වැස්සා මහ වැස්සේ
මහ ජන ගඟක් විය කලකට පෙර දවස
ඕනෙම පැනයකට පිළිතුරු දුන් පවස
අද දින නොමැතිමුත් මිනිසුන්ගේ පහස
වෙනකක් නොවේ ආරච්චිගේ මහ නිවස
වැට කැඩුවොතින් හරකා අල්ලපු ගෙදර
හොරකම් කළොත් අනුනගේ බඩුවක් කවර
ලිඳ ලඟ මඟ තොටේ ඇතිවන අඩදබර
මොහොතින් විසඳුවා පැන, කිසිවෙකු නොමර
ඇඟිලි තුඩුවලින් කරකන උඩු රැවුල
බර කල්පනාවකදී රැළිගත් නළල
උපැස් යුවල ඉහළින් තිබු ඇස් යුගල
මේ හැම එක්කළා තේජස් බව ධවල
කලකට කලින් මුළු ගම කඳුලින් පුරවා
ගම්පති ගියා මේ හැම අසරණ කරවා
මිනිසුන් සතුන් හැමටම ආදරෙ කෙරුවා
බෝසත් වෙන්න කියමින් පෙරුමන් පිරුවා
ගොඩ කාලෙකට පස්සේ ආයෙත් කවි හිත එළියට එනවා... හිරවෙල ඉඳලා කවි හිතටත් ඇතිවෙලා. හැබැයි තවමත් කාලයත් එක්ක සටනක...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................