Wednesday, April 5, 2017

අඳුර අපේ දුක නිවාවී - ගුණදාස අමරසේකර


යමන් කළුවෙ ගෙදර යන්න, කන්ද උඩින් අඳුර    එනව
උඹට වගේ මගෙ ඇඟටත් හරිම මහන්සිය     දැනෙනව
අඳුර තමයි අපෙ ඇඟපත නිවන්ට දෙවියෝ        එව්වේ
හනික යමන් ගාල්වෙන්න පිදුරු ගොඩේ ගෙයි මුල්ලේ

උදේ හිටන් අව් කට්ටේ උඹව තියන්       මැඩවෙව්වට
උඹේ හිතට අමාරුදැයි කියාපන්කෝ දැන්වත්       මට
කරුමේ තමයි පළිසන් දෙන්නේ අපගේ මේ     විදියට
බුදු හාමුදුරුවො කිව්වේ එක තමයි දුක           නිවන්ට

ගෙදර ගිහින් ඇළ ගාවින් හොඳ තණකොළ ටිකක් උඹට
තලු ගහ ගහ බඩ පිරෙන්න ගෙනැත් දාන්නම්    කන්නට
දෙයියො තමයි අඳුර දුන්නේ අපෙ ඇඟපත ගිනි නිවන්ට
හනික යමන් ගාල් වෙලා අඳුරු රෙද්ද පෙරව        ගන්ට

මගේ කකුලේ කටු ඇනිලා ඉවසන්නට බැහැ      රිදේවී
අන්දකාරෙ තෙල් ගාලා ඒ විස කටු ඇද                දමාවී

හැන්දෑවට උඹ ඉඳගෙන තලු ගහනව මට       ඇහෙනව
උඹට කළුවෙ හුඟක් හොරද හැන්දෑවට නින්ද       යනව
අඳුර ඇවිත් මගෙ නළලට නම් මන්තරයක්       කියනව
ඒ එක්කම ඇහැ පියවිල එළිවෙනතුරු නින්ද        යනව

දෙයියො තමයි අඳුර දුන්නෙ අපෙ ඇඟපත      නිවාලන්ට
යමන් කළුවෙ ගාල්වෙලා එකට වැටී                නිදාගන්ට
තුනටිය මගෙ කකියනවා බොහොම නොසෑහෙන විදියට
අඳුර හන්දි තෙල් ගාලා අතගාවිය එය                හෙමිහිට

අඳුර  රෙද්ද, පෙරවාලා අපෙ ඇඟපත නිදි             කරාවී
අඳුර අපෙ දුක නිවලා දාහක් ගින්දර                     නිවාවී

ගුණදාස අමරසේකර

5 comments:

  1. මිට අවුරුදු 30 කට විතර කලින් ඉස්කෝලේ පොතේ තිබිල හීන් දුකක් එක්ක කියෝපු කවි පෙළක්.. ඒ දුක තනිකම අදත් දැනුනා.. ස්තුතියි මේ කවියට වගේම නිහඬව ඔබ කරන මේ සේවයට..

    ReplyDelete
    Replies
    1. කවි කියන්නේ මිනිස්සුන්ට චිත්ත රූප මවන මාධ්‍යයක් මෙන්ම හැඟීම් දැනීම්ද ඇති කරන මාධ්‍යයක්. සතුට, දුක, ආදරය වගේ හැඟීම් කවි වලින් ඇති කරවන බවට ඔබේ අදහස හොඳම නිදසුනක්. ස්තූතියි.

      Delete
  2. මේක හොද වැඩක් 💖💖💖

    ReplyDelete
  3. මම 1999 4වන ශ්‍රේණියේ මේ කවිය මගේ ගුරුතුමිය කුමාරි මිස් ගාවෙන් ඉගෙන ගත්තේ. මේ කවිය බලනකොට, කියවනකොට මගේ ගුරුතුමිය ගැනත් ඒ කවිය ඉගෙන ගන්නකොට අපිට ලැබුණ හැඟීමත් මට මතක් වෙනවා.
    ඒ හැඟීම තාමත් අපේ මතකයේ, අපේ මනසේ, අපේ ජීවිතයේ තියෙනවා... තාමත්... නොඅඩුවෙන්..

    ReplyDelete
    Replies
    1. මම 1999 4වන ශ්‍රේණිය ( ගම්පොළ සහිරා මහා විද්‍යාලය)

      Delete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................