Friday, August 5, 2011

ඉලන්දාරි සමය ගමෙ - part 3


බරට බරේ කරලින් බර මේ                      කුඹුරේ
අව්රැස් වැටී දිලිහෙයි කොළ අතු               පත‍රේ
සුදට සුදේ බබළන සුදු කිරි                  වෙහෙරේ
රජ හංසයෙක් මෙනි පිහිනන දිය              කතරේ

පොඩිනම අප දැක්ක විගසම නියර             දිගේ
පන්සල පැත්ත බලමින් මෙන් හොරෙන්    වගේ
සිවුරෙන් ඔතාගෙන මොනවද ගෙනෙ‍න     ර‍‍‍‍ඟේ
මොනවා නමුත් හිමි ගෙනෙනා කෑම           අගේ

කියමන සනාථයි අප නොව            පණ්ඩිතයන්
ඉඳහිට වැටෙනමුත් දොළ උඩ           ඒදන්ඩෙන්
එගොඩ වුණු ගමන් ඇති මේ ගුරු           පාරෙන්
ඇල්ලට දුරයි යා යුතු වේ               කරත්තෙකින්

නොපෙනෙන නිසා ගොන්බැඳි බර      කරත්තේ
ඊළඟ හන්දියට පොඩි දුරකුයි                 ඇත්තේ
හන්දියේ නවතාලා ඇත ගොන්            කරත්තේ
නැඟුණු පසුව නැහුනෙමු අපි කවි            මත්තේ

තණ්ඩලේ දෙන්න දෙපොළේ - දක්කනවා කටු කැලේ
ගාලේ නොලිහා වද දෙනවා - හපුතලේ කන්ද දැකලා බඩ දනවා
ඇදපන් පුතේ ඇදපන් හපුතල් යනවා......

රසබර කවි කියන අතරේ එකා                 බැගින්
සුපුරුදු පරිදි බැස්සා මේ ඇල්ල                 ලඟින්
සඟවා යනෙන කොට කලිසම් මාරු           කරන්
කුඹුක් සෙවණේ වී පොඩියක් ගිමන          නිවන්

සිතට ගතට සිසිලස දෙන මේ                   ඇල්ලේ
සුන්දර බව වැඩිය අදනම් දිය                   ඇල්ලේ
වෙනතක් නොවේ නානවා ලඳුනුත්            පහළේ
ජල ක්‍රීඩා කරයි දිය පුරවා                          අල්ලේ

රසබර හැඟුම් පූදන මේ ජල                          පහර
අපිත් නිකම් හිටියේ නෑ මේ                           පාර
දැන්නම් කළ යුතුයි යම්කිසි වැඩ                     වීර
නිකමට හෝ බලයි එවිටම අපිත්                කොර

එතරම් උස නැතත් අඩි පහළොවක්              වගේ
ගල්මත නැඟී උඩටම යමු ඇල්ල                   දිගේ
පහළ බැලූවිට කකුලත ගැහෙන                    ර‍ඟේ
සාමණේර හිමිනම පැන්නානේ                    අගේ

වතුර කඳ බෙදී හිමි නම යටට                         වුණි
එසැනින් උඩ ඇවිත් හිනාව අපට                    දුණි
අරහත් ඵල ලබා නැතිබව පසක්                     වුණි
නාන කතුන් හොරැහින් මෙන් බලනු              දැනි

අමර කමල් විමලුත් දැන් පෙළට                   පැන
මගේ වා‍රේ ආවා මම තව                            එතැන‍
දැන්නම් කතුන් හොඳහැටි අප දෙස              බලන
හිතට දිරි අරන් දිව විත් මම                        පැන්න

ජල කඳ දෙබෑ විය මම පහළටම                      ඇදී
වේගය ගත නොහී පත කළු ගලක                    වැදී
ජලකඳ වෙලී ඇත ගතෙහි හොඳට                    බැදී
එවිටයි පිබිදුනේ සුන්දර සිහිනේ                      නිදී

ජල කඳ නොව් පැටලී ඇති මදුරු                       දැල
කළු ගල නොව් වැදිලා ඇත පොඩි                  ටයිල
කෙසේ නමුදු ඒ සුන්දර සිහින                           මල
කිසිදා දැක්කේ නෑ එදයින් පසුව                       කල

                       [ ඉලන්දාරි සමය ගමෙ අවසානයි - අවසන් කළේ බොහොම අමරුවෙනි. ]                                                                        

5 comments:

  1. මේක කියෙව්වාම නම් ගමටම යන්න හිතයි. අපිත් ගෙවල් මාරුකලා පහුගිය සතියේ. දැන් ඉන්න පළාත ටිකක් ගම්බඳයි. මම හරිම කැමතියි මේ තැනට. නිදහස්, කුරුළු ගීත ඇසෙන නිතරම වත්තට කුරුල්ලන් එන පැත්තක්. අපි මෙතෙක් හිටියෙ පාර අයිනේ තැනක . හරිම ගෝසාව, කලබලයි. මේ කවිපන්තියෙ පොඩිනම ගැන කිව්වහම අපේ පොඩි හාමුදුරුවන්වත් මතක් උනා. අපිටත් මේ වගේ රසකැවිල්ලක රස බලන්න ලැබිල තියෙන නිසා.
    හරිම සුන්දරව ගලා යන කවි පන්තියක්.
    සුන්දර සිහිනෙක ඉඳල ඇහැරුන එක, අමාරුවෙන් ඉවරකලේ ඇයි? තව ලීවානම් හොඳයි නේ.

    ReplyDelete
  2. දිගට ලියන්න. සමහර විට ගමේ වෙනත් අත්දැකීම් වෙනත් මාතෘකා යටතේ.

    ReplyDelete
  3. මදැයි මේ ඔක්කොම හීනයක් ද? ඒ උනත් ඔය අපිව හැබැටම සුන්දර ගමකට එක්ක ගියා. ලස්සනයි මල්ලි
    (මගේ gmail එකේ මොකක්ද අවුලක් වෙලා කොමෙන්ට් කරන්ඩ බැරුවයි හිටියේ)

    ReplyDelete
  4. මන් නම් දැනන් හිටිය ඕක හීනයක් කියල . හැබැවට වඩා හීන ලෝකේ ලස්සනයි නේද මලේ. මේ පොස්ට් එකයි චන්දි අක්කගේ අලුත් පොස්ට් එකයි දෙකම මගේ නෙලුම් විලේ සයිඩ් බාර් එකේ අප්ඩේට් වෙලා නැහැ . කමෙන්ට් නැත්තෙත් එකයි මන් හිතන්නේ . මම අලුත් පොස්ට් එකක් දාන්න ආව ගමන් තමයි මේ දෙකම දැක්කේ .

    ReplyDelete
  5. හැමෝටම ස්තූතියි.මේක ලියනකොට අදහස් ගලන් එන්නේ හෝ ගාලා.කොච්චරද කිව්වොත් කවියක් ලියා ගන්නත් කලින්...අදහස් හෙන ගොඩක්.අනික මට හිතුණා එක දිගටම යනකොට ඒකේ රසය නැති වෙයි කියලා.අර කියමනකුත් තියෙන්නෙ ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නෑ කියල.ඒ වගෙම තව කොච්චර තේමා ති‍යෙනවද කවි ලියන්න..දැනටමත් තව දෙක තුනක් පටන් අරන් තියෙන්නේ.මේ දවස් ටිකේ නම් වෙලාවක් නෑ ඇත්තටම විභාගේ හින්දා

    මේ කවිය හීනෙකින් අවසන් කරන්න කවි පන්තිය පටන්ගන්නකොට නම් හීනෙකින් වත් හිතලා තිබුණේ නෑ.ඒත් අවසාන කරන්න වෙන විදියක් තිබුණේ නෑ.

    තව ගොඩාක් පරණ කවියන්ගේ කවි හමුවුණා.තව ටික දවසකින් බ්ලොග් එකේ දාන්නම්.

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................