Pages

Thursday, June 28, 2012

මිනී වල

ඔහුගේ මුහුණ කළු පාටින් දුටිමි                    මම
අව්වයි එයට වග කීවේ පෙර                      සේම
ඔහුව උවමනා වේ ලොව                       හැමදාම
මිනී වල කපන ඔහු නම                     ගුණසෝම

සැමදා දුක උරුම වු බව පෙනුණි                වතේ
එනමුදු සිනා මූණක් පොරවාන                  සිතේ
උදළු කැති වලින් ඔහු රජ කරපු                 අතේ
කරගැට දුටු විටදි මටනම් දුකත්                 හිතේ

වට කෙස් මැද හිස්ය ඒ ටික සුදට                පැහී
සුරුට්ටුව නිසා සමහර විටදි                        කහී
කවදා නිමවේද මිනිසුන් තවම                    නහී
නිවන් ලැබදෙන්න ගෞතම බුදුන්          කොහී

ඔහු නම ගුණසෝම නොව            නඩරාජන්ය
යුද්ධය නිසා ඔහු වැළලිය පවුල                  සිය
ඔහු හට දුකක් නැත දැන් සැමටම            එකය
මරණය පොදුය එය අනියත දහම               විය

සැමදා පාරේදි හමුවිය මෙමා                     හට
දත් නැති වුවද ඔහු පෑවා සිනා                   කට
ඔහු නැති දවස් ගෙවුණා                 සමහරදාට
එදිනට තවත් මිනිසෙකු ලොව හැර      දොට්ට

පුරුදු මූණ කලෙකින් දුටුවේ                නැතිය
අනුන‍ගේ වළ කපන්නට ඔහු මෙහි      නැතිය
ඔහුගේ වළ කැපුවේ  කවුරුද ලොව        සිටිය
අළුත් මුහුණකිනි එය සැරසී                   සිටිය

3 comments:

  1. පුරුදු මූණ කලෙකින් දුටුවේ නැතිය
    අනුන‍ගේ වළ කපන්නට ඔහු මෙහි නැතිය
    ඔහුගේ වළ කැපුවේ කවුරුද ලොව සිටිය
    අළුත් මුහුණකිනි එය සැරසී සිටිය

    මේකට තමා මම ආසම!!

    ReplyDelete
  2. අනිත්‍ය බව ගැන නේද ලස්සනයි කවිය

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................